මෙකල බෞද්ධයන් පින සහ කුසලය අතර වෙනස වරදවා ගෙන විවිධ අර්ථ දැක්වීම් දක්වනු පෙනෙයි. බුදු රජාණන් වහන්සේගේ නිර්මල සද්ධර්මය පවතින ත්‍රිපිටකය ඇසුරින් මෙය නිරාකරණය කළ යුතු වෙයි.
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, පටිසම්භිදාමග්ගපකරණ 1, ධම්මනානත්තඥාණය - පිටු අංක 162 - 163)
අපරියාපන්න භූමියේ සෝවාන්, සකදාගාමි, අනාගාමි සහ රහත් යන සතර ආර්ය මාර්ග කුසල් වන නමුත් පින් ලෙස නොදැක්වෙයි.
මෙහි අර්ථය නම් තුන් ධාතුවේ රැස් කරන සියලු ම කුසල්, පින් ලෙස දැක්වෙන බවයි.
එහෙත් අපරියාපන්න භූමියේ එනම් සෝවාන්, සකදාගාමි, අනාගාමි සහ රහත් මාර්ග කුසල් ලෙස දැක්වෙන අතර පින් ලෙස නොදැක්වෙයි.
මෙකල පින් සහ කුසල් වරදවා ගෙන බොහෝ මිථ්‍යා දෘෂ්ටි ලොව පැතිරෙයි.
ධර්මය වචන මාත්‍රයෙන් පමණක් ගෙන අර්ථය අතහැර ගත් අනුවණ බාලයෝ පින් කිරීමෙන් සසර දික් වන බවත් කුසල් කිරීමෙන් සසර කෙටි වන බවත් කියති.
ආචයගාමී සහ අපචයගාමී ආදී වචනවල අර්ථය නිෂ්පරියායෙන් ගෙන මෙවැනි වරද සිදු කරනු පෙනෙයි.
මෙය මෙසේ අවබෝධ කළ යුතු වෙයි. අකුසලය දුරු කිරීම කළ යුතු වෙයි. කුසලය කිසි අවස්ථාවක දුරු නොකළ යුතු වෙයි. මෙය බුද්ධ භාෂිතයයි.
නිරයගාමී මහත් දුකට ම හේතුවන්නා වූ අකුසලය දුරු කිරීමට පින් කළ යුතු වෙයි. පින හේතුවෙන් සතර අපායෙන් ගැලවී සුගතිගාමී වෙයි. ඒ සුගතියේ සිටින්නා වූ කෙනෙකුට නිවන් දැකීමට ලෝකෝත්තර මාර්ගය වැඩිය හැකි වෙයි.
සුගතිගාමී වුව ද ඒ පින් අවසන් වූ විට නැවත දුගතිගාමී වීමේ අවස්ථාවක් ඇති බැවින් ස්ථිර ව නිරවශේෂයෙන් ම දුක අවසන් කර ගැනීම පිණිස ලෝකෝත්තර මාර්ගය වැඩිය යුතු වන්නේය.
මෙසේ අකුසල් ඇති වීමට හේතුව වන අකුසල මූල තුන වන ලෝභය, ද්වේෂය සහ මෝහය නැති කිරීම හේතුවෙන් නැවත අකුසල් ඇති නොවෙයි. මෙය සියලු දුකෙහි අවසානය වන්නේය.
මෙය මෙසේ අවබෝධ කළ යුතු වෙයි.
සතර අපායේ බොහෝ දුක් ඇති බැවින් එයින් මිදීමට කාමාවචර කුසල් කළ යුතු වෙයි. ඒවායේ විපාක මිනිස් සහ කාමාවචර දිව්‍ය ලෝකයන්හි උපතට හේතු වෙයි.
මිනිස් සහ කාමාවචර දිව්‍ය ලෝකයන්හි ඇති අවදානම නම් එහි සිටින්නන් අකුසල් කර හෝ පෙර කළ අකුසල් හේතුවෙන් හෝ කුසල් අවසන් වීම හේතුවෙන් නැවත සතර අපායේ ඉපදීමට හැකි වීම වෙයි.
එබැවින් මේ අවදානමෙන් මිදීමට රූපාවචර කුසල් සහ අරූපාවචර කුසල් කළ යුතු වෙයි. රූපාවචර සහ අරූපාවචර දිව්‍ය ලෝකවල දීර්ඝායුෂ ඇති බැවින් සතර අපායේ ඉපදීමට ඇති අවදානම බොහෝ කාලයකට යටපත් වෙයි.
එහෙත් කවදා හෝ නැවත සතර අපායේ ඉපදීමට ඇති අවදානම ඇත්තේ වෙයි. මෙම අවදානම දුරු කිරීමට නම් සියලු උපත් දුරු කළ යුතු වෙයි.
මේ සඳහා ලෝකෝත්තර කුසල් කිරීම කළ යුතු වෙයි. එයින් කුසල් හෝ අකුසල් රැස් කිරීමේ හැකියාව සම්පූර්ණයෙන් දුරු වෙයි. මෙසේ සියලු දුකෙන් සදහට ම අත්මිදීම සිදු වන්නේය.
එහෙත් මෙකල සමහර අනුවණ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කළ පිළිවෙළින් යන්නා වූ යහපත් ප්‍රතිපදාව අතහැර එක සැණින් ම නිවන් දැකීමට තැත් කරති.
ඔවුහු සීලයට සහ සමාධියට ගරහමින් සීලය ද නොමැති ව සමාධිය ද නොමැති ව එක වර ම නිවන් දැකීමට උත්සාහ කර මං මුළා වී සතර අපායට ම යන ප්‍රතිපදාවේ යෙදෙති.
පින් කිරීමෙන් දුක දුරු වී ඉෂ්ට, කාන්ත, මනාප, සැප සහගත, යහපත් වූ විපාක ලැබෙන්නේය.
එම ඉෂ්ට කාන්ත, මනාප, සැප සහගත විපාක ද අනිත්‍ය වන බැවින් අවසන් වී යනු ඇත.
මෙය දක්නා ප්‍රඥාවන්තයා පින් කර දුක දුරු කරන්නේය. එතැනින් සෑහීමකට පත් නොවී ලෝකෝත්තර මාර්ගය වඩා සියලු දුකෙන් මිදෙන්නේය.