මෙකල බොහෝ බෞද්ධ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ මස් මාළු අනුභවය අකුසල් යැයි කියති. මිථ්‍යා දෘෂ්ටි දරා ගත් ඔවුහු බුදු රජාණන් වහන්සේ විසින් ලොවට වදාළ ධර්මය වෙනස් කිරීමට තැත් කර බොහෝ අකුසල් රැස්කරති.
කර්ම සහ කර්ම ඵල පිළිබඳව නුවණ නොමැති එනම් සුගතියේ ඉපදීම පිණිස පවතින්නා වූ කම්මස්සකථා සම්මා දෘෂ්ටිය පවා නොමැති මේ පිරිස් සද්ධර්මය යැයි පවසා අධර්මය ම පතුරවනු පෙනෙයි.
තමන් ද නිරයගාමී ප්‍රතිපදාවේ යෙදෙන මේ අසත්පුරුෂයෝ අනුන්වත් නිරයගාමී ප්‍රතිපදාවේ සමාදන් කරවති.
තමන් කැමති දෘෂ්ටියක් දරා ගැනීමට ඕනෑ ම කෙනෙකුට අයිතියක් ඇත. එහෙත් මේ මිථ්‍යා දෘෂ්ටි බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කළ බව පවසා ලොව රැවටීම මහත් අසත්පුරුෂ ක්‍රියාවක් ම වන්නේය.
මස් මාළු කෑම අකුසල් යැයි කියන්නේ නම් ඔහු දේවදත්තවාදී පුද්ගලයෙක් නොවේ ද?
මස් මාළු කෑම වැළක්වීමට මුලින් ම උත්සාහ කරන ලද්දේ දේවදත්ත තෙරුන් විසිනි.
එකල බුදු රජාණන් වහන්සේ වේළුවනයේ වැඩ වසන සේක. “අපි සංඝයා භේද කරමු” යැයි දේවදත්ත තෙරනුවෝ, කෝකාලික හා සමුද්ධදත්ත හිමිවරුන්ට පැවසූ සේක.
ඒ කෙසේ ද යත්ත “භික්ෂූහු දිවි ඇති තෙක් කැලේ වසන, පිණ්ඩපාතයෙන් යැපෙන, පාංශුකූලික සිවුරු අඳින, ගස් යට ඉන්නා හා මස් මාළු වැළදීමෙන් තොර විය යුතුය. එසේ කී විට බුදු රජාණන් වහන්සේ අවසර නොදෙන සේක. අපට මෙසේ සංඝ භේදය කිරීමට, බුදු රජාණන් වහන්සේගේ අණ බිඳින්නට හැකිය. ඒ මිනිසුන් රළු පිළිවෙත්වලට කැමති නිසාය”.
ඉන් පසු දේවදත්ත තෙරුන් ඇතුළු පිරිස භාග්‍යවතුන් වහන්සේට ඉහත පරිදි පැවසුව ද බුදු රජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
“කැමති නම් කැලේ සිටිත්වා, නැති නම් ගමේ වෙසෙත්වා. කැමති නම් පිණ්ඩපාතික වෙත්වා. එසේ නැති නම් ගෘහපති දානය ඉවසත්වා. යමෙක් කැමති නම් පාංශුකූලික වෙත්වා. නැති නම් ගෘහපති චීවර ඉවසත්වා. මා විසින් අට මාසයක් ම (වස් කාලය හැර) රුක් මුල් සේනාසන අනුදක්නා ලදි.
තමා පිණිස මරණු නොදක්නා ලද, නොඅසන ලද, සැක නැති (ත්‍රිකෝටි පාරිශුද්ධ) මස් මාළු වැළඳීමට අවසර දුන්නෙමි”.
පසු ව දෙව්දත් තෙරණුවෝ සැලසුම් කළ පරිදි පවසා, ජනයා රවටා, ලාභ සත්කාර ලබා ගැනීමට, සංඝයා බිඳවීමට සහ බුදු රජාණන් වහන්සේගේ ආඥාව බිඳීමට උත්සාහ කළෝය.
බුදු රජාණන් වහන්සේ එදා ද මස් මාළු අනුභවය තහනම් නොකළ සේක. එය දෙව්දත් තෙරණුවන්ගේ හා පිරිසගේ ක්‍රියාවකි.
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විනය පිටකය, පාරාජිකාපාළි - පිටු අංක 448 - 451)
එකල ද ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා හේතුවෙන් සමහරු අසූචි ද හොරෙන් කා දිවි ගෙවූහ. එසේ නම් ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා හේතුවෙන් බොරු කීම මෙකල අරුමයක් නොවන්නේය. බුදු රජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් නොමැති, සම්මා දෘෂ්ටියෙන් තොර මේ අනුවණයෝ බොරු කියා අනුන් රවටා බොහෝ අකුසල් රැස් කර දුගතිගාමී වෙති.
බුදු රජාණන් වහන්සේ විසින් නොපැනවූ මස් මාළු අනුභවය අකුසල් යැයි කියන්නේ නම් එය අධර්මවාදී ක්‍රියාවක් නොවේ ද?
යම් භික්ෂුවක් බුදු රජාණන් වහන්සේ නොපැනවූ දේ පනවන්නේ නම් ඔහු අධර්මවාදී භික්ෂුවක් වන බව බුදු රජාණන් වහන්සේ විසින් වදාළ සේක.
කරුණු දහ අටකින් අධර්මවාදී පුද්ගල තෙමේ දත යුතුය. යම් භික්ෂුවක්,
මේ වස්තු අටළොසින් අධර්මවාදී පුද්ගල දත යුතුය.
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විනය පිටකය, මහාවග්ගපාළි 2, කොසම්බක්ඛන්ධකය - පිටු අංක 842 - 895)
බුදු රජාණන් වහන්සේ විසින් නොවදාළ මස් මාළු කෑම අකුසල් යැයි යමෙක් කියන්නේ නම් එය අධර්මවාදී ක්‍රියාවක් නොවන්නේ ද?
යම් කෙනෙකුට බුදු රජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධා මාත්‍රයක් හෝ ප්‍රේම මාත්‍රයක් ඇත්නම් දැන දැන තම ශාස්තෘන් වහන්සේගේ ධර්මයට කිසිවක් එකතු කිරීම හෝ අඩුකිරීම නොකරන්නේ ම ය.
භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලාට පමණක් යම් යම් හේතු මත පහත සඳහන් මස් වර්ග දහය නොවැළඳීමට විනය ශික්ෂා පැනවූ සේක.
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විනය පිටකය, මහාවග්ගපාළි 2 - පිටු අංක 556 - 561)
මස් මාළු අනුභවය අකුසල් යැයි ජීවක සූත්‍රයේ සඳහන් නොවෙයි
එසේ ම සමහර වංචාකාරයෝ මස් මාළු අනුභවය අකුසල් යැයි ජීවක සූත්‍රයේ සඳහන් වෙතැයි මුසාවාද කියති. එහි කිසි ම තැනක එසේ සඳහන් නොවෙයි. සම්පූර්ණ සූත්‍රය ම කියවා නුවණින් විමසා බලා නොගැනීම හේතුවෙන් මෙසේ වරදවා ගැනීම් සිදු වන්නේය. එබැවින් සීලයකින් යුක්ත ව මනා ව කියවා බලන්න.
ත්‍රිකෝටික පාරිශුද්ධිය පිළිබඳව ද සතුන් මැරීමේ අකුසලය පිළිබඳව ද සතුන් මරා සිල්වතුන්ට දාන දීම බොහෝ අකුසල් වන බව ද මෙම ජීවක සූත්‍රයේ මනා ව සඳහන් වෙයි. සිල් නොරකින නිසා නුවණ නොමැතිවීම හේතුවෙන් මෙවැනි මුසාවාද කියනු ලබන්නේය.
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, මජ්ඣිම නිකාය 2, ජීවක සූත්‍රය - පිටු අංක 54 - 59)
බුදු රජාණන් වහන්සේ විසින් සුදුවත් අඳින ගිහියන්ට සතුන් මැරීමෙන් වැළකීම ඇතුළු පන්සිල් අනුදැන වදාළ සේක. එසේ නොමැති ව කිසි ම තැනක මස් මාළු අනුභවය අකුසල් යැයි ත්‍රිපිටකයේ සඳහන් නොවෙයි.
ඉහත සඳහන් හේතු හැර මස් මාළු අනුභවය අකුසල් යැයි යම් දැක්මක් වේ ද එය මිථ්‍යා දෘෂ්ටියකි.
සියල්ල දන්නා වූ දක්නා වූ බුදු රජාණන් වහන්සේ විසින් පැනවූ විනය නොපැනවූ ලෙස දැක්වීමත්, නොපැනවූ විනය පැනවූ ලෙස දැක්වීමත්, අධර්මවාදී ලක්ෂණයකි. මෙවැනි අධර්මවාදී ලක්ෂණ දුරු කර ගැනීම තමන්ට සහ බුද්ධ ශාසනයේ චිරස්ථිතියට බොහෝ උපකාර වනු ඇත.
අකුසලය කුමක් ද, අකුසල මූලය කුමක් ද සහ කුසලය කුමක් ද, කුසල මූලය කුමක් ද වශයෙන් සම්මා දිට්ඨිය පිළිබඳව ඇති අනවබෝධය නිසා මෙවැනි මිථ්‍යා දෘෂ්ටි හටගෙන ඇති බව පෙනෙයි.
මස් මාළු අනුභවය අකුසල් ද යැයි කර්ම සහ කර්මඵල විමසා බැලීම
සතුන් මැරීම සිදු කරනුයේ ලෝභය, ද්වේෂය, මෝහය හේතුවෙන් බැවින් එය සෑම විට ම අකුසල් ම වන්නේය.
කෙනෙක් බත් පාන් ආදිය අනුභවය ද ලෝභය, ද්වේෂය, මෝහය හේතුවෙන් කළහොත් එය අකුසල් වන්නේය.
එසේ ම කෙනෙක් මස් මාළු අනුභවය ලෝභය, ද්වේෂය, මෝහය හේතුවෙන් කළහොත් එය ද අකුසල් වන්නේය.
එසේ නම් බත් කෑම ද මස් මාළු කෑම ද ලෝභ, ද්වේෂ, මෝහ හේතුවෙන් කළහොත් එය අකුසල් ම වන්නේය.
එසේ ම බත් පාන් ආදිය අනුභවය ලෝභ, ද්වේෂ, මෝහ දුරු කිරීම පිණිස ප්‍රත්‍යවේක්ෂා කර පිළිකුල් සංඥාවෙන් කන්නේ එය කුසල් ම වන්නේය.
එසේ ම කෙනෙක් මස් මාළු අනුභවය ද ලෝභ, ද්වේෂ, මෝහ දුරු කිරීම පිණිස ප්‍රත්‍යවේක්ෂා කර පිළිකුල් සංඥාවෙන් කන්නේ එය කුසල් ම වන්නේය.
මස් මාළු අනුභවය ද බත් පාන් ආදිය අනුභවය ද, අකුසල් සිතකින් යුතු ව කළහොත් අකුසල් ද, එසේ ම කුසල් සිතකින් යුතු ව කළහොත් කුසල් ද වන්නේය.
සියල්ල දන්නා වූ දක්නා වූ බුදු රජාණන් වහන්සේ විසින් ආහාර ගන්නා විට තම පුතාගේ මස් යන සංඥාවෙන් අනුභව කිරීමට අනුදැන වදාළ සේක.
මෙසේ බුදු රජාණන් වහන්සේ වදාළ ලෙස අනුභව කරන කිසි ම ශ්‍රාවකයෙක් හෝ ශ්‍රාවිකාවක් මස් මාළු අනුභවය අකුසල් යැයි නොකියනු ඇත. ඒ මන්ද යත් ඒ ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව ධර්මය සන්දිට්ඨික, අකාලික නිසා තමා විසින් ම මස් මාළු අනුභවය අකුසල් නොවන බව දකින බැවිනි.
සතුන් මරන්නේ අනුභව කරන බැවින් යැයි බොරු විහිළු තර්ක ඉදිරිපත් කිරීම
බොහෝ විට සතුන් මරන්නේ අනුභව කරන බැවින් ම වන්නේය. මෙවැනි දැක්මකින් යුතු ව අකුසල් යැයි සිතා යමෙකු මස් මාළු අනුභව නොකරන්නේ නම් එහි පහත සඳහන් දෝෂ ද වන්නේය.
මෙසේ වන විට බෞද්ධ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන් කෑම ද බීම ද බෙහෙත් ද ඇවිදීම ද නවත්වා දින කිහිපයකින් මිය යනු ඇත. මස් අනුභව කරන බැවින් සතුන් මරණ නිසා මස් කෑම නොකළ යුතුය ආදී අන්තගාමී දෘෂ්ටි ඇති කර ගැනීමේ දෝෂ මෙසේ වෙයි.
යමෙක් සතුන් මරන්නේ අනුභව කරන බැවින් යැයි දැක්මකින් යුතු ව මස් මාළු අනුභවය අකුසල් යැයි කියන්නේ නම් ඔහු බොරු විහිළු තර්ක ඉදිරිපත් කරන්නෙක් ම නොවේ ද?
එසේ නම් මස් මාළු අනුභවය අකුසල් යැයි යමෙකුට දැක්මක් වේ ද එය මිථ්‍යා දෘෂ්ටියක් ම නොවන්නේ ද? මිථ්‍යා දෘෂ්ටි දරා ගැනීම මරණින් පසු නිරයෙහි හෝ තිරිසන් ලොවෙහි ඉපදීම පිණිස පවතින්නේය.
මස් මාළු අනුභවය අකුසල් යැයි යමෙක් කියන්නේ නම් ඔහු පන්සිල්වත් නොරකින කෙනෙක් වන්නේය. ඒ මක්නිසා ද යත් මස් මාළු අනුභවය අකුසල් යැයි ඔහු බොරු, මුසාවාද කියන හේතුවෙනි.
දේවදත්ත තෙරුන් ද රූක්ෂ ප්‍රතිපත්තිවලට මිනිසුන් කැමති නිසා, මස් මාළු අනුභවය අකුසල් යැයි පවසා, ධර්මය අවබෝධ නොකළ, අනුවණ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා පිරිසක් රවටවා ගත් සේක.
මෙකල ද යම් පිරිසක් මෙම මිථ්‍යා දෘෂ්ටිය ලොව පතුරවති.
මෙකල සිව්වනක් පිරිසෙන් යම් කොටසක්, යම් තරමකට හෝ බුදු රජාණන් වහන්සේ විසින් වදාළ ලෙස නුවණින් විමසන්නේ නම් ධර්මය ලෙසින් ලොව රවටන මෙවැනි අධර්මයන්ට මෙතරම් බලයක්, ශක්තියක්, ආනුභාවයක් නොලැබෙන්නේ ම ය.
තව දුරටත් කරුණු හැදෑරීමට අවශ්‍ය නම් ත්‍රිපිටකයේ පහත මූලාශ්‍ර යොදා ගන්න.
බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා,
විනය පිටකය, මහාවග්ගපාළි 2, භේසජ්ජක්ඛන්ධය - පිටු අංක 520 - 626
සූත්‍ර පිටකය, අඞ්ගුත්තර නිකාය 5, සීහ සේනාපති සූත්‍රය - පිටු අංක 50 - 67
සූත්‍ර පිටකය, ඛුද්දකනිකාය, සුත්තනිපාතො, ආමගන්ධ සූත්‍රය - පිටු අංක 74 - 79