කඨිනය ඇතිරූ සංඝයාට කඨින ආනිසංස පහක් බුදු රජාණන් වහන්සේ විසින් වදාළ සේක. එසේ නැති ව උපාසක උපාසිකාවන්ට කඨින ආනිසංස ඇති බවක් ත්රිපිටකයේ සඳහන් නොවෙයි.
භික්ෂු භික්ෂුණීන්ට පුද්ගලික ව හෝ සඟ සතු කොට සිවුරක් පූජා කිරීම උපාසක උපාසිකාවන්ට කළ හැකි මහඟු පින් කමකි.
එහෙත් උපාසක උපාසිකාවන්ට කඨින සිවුරක් පූජා කිරීමට අවස්ථාවක් නොමැත. එය මහඟු පිනක් ලෙස සියල්ල දන්නා වූ දක්නා වූ බුදු රජාණන් වහන්සේ විසින් වදාරා ද නැත.
බුදු රජාණන් වහන්සේ විසින් වදාළ සහ රහතන් වහන්සේලා වදාළ නිර්මල සද්ධර්මය ඇති, අසූ හාර දහසක් ධර්ම ස්කන්ධ ඇතැයි සලකන ත්‍රිපිටකයේ කිසි ම තැනක කඨින ආනිසංස ගිහියන්ට ඇති බව සඳහන් නොවෙයි.
එසේ ම, අනාගතය දන්නා වූ දක්නා වූ නුවණක් එනම් අනාවරණ ඥානයෙන් යුත් බුදු රජාණන් වහන්සේ විසින් සුපේසල භික්ෂූන්ගේ ඵාසු විහරණය තකා කඨිනය ඇතිරීම පැනවූ සේක.
පසු කලෙක එය අයුතු ලෙස යොදා ගැනීම දැකීම නිසා හෝ එය වැළක්වීමට මෙසේ වාරණයන් ද පැනවූ සේක.
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විනය පිටකය, මහාවග්ගපාළි 1 - පිටු අංක 630 - 633)
මේ බුද්ධ දේශනාවයි. උපාසක උපාසිකාවන්ට කිසි ම විටෙක කිසි ම කලෙක කඨින සිවුරක් පූජා කිරීමට අවස්ථාවක් නැති බව මෙයින් පැහැදිලි වෙයි. ඒ මක් නිසා ද යත් එසේ නිමිති කියා ලද, පෙර නිමිති දක්නට ලැබූ, හැඟවීම් කර හෝ ආනිසංස කියා ලද වස්ත්‍රයෙන් කඨිනය ඇතිරීමට සංඝයාට නොහැකි බැවිනි.
සංඝයාට පමණක් ඇති කඨින ආනිසංස පහ ද ඔවුන්ට මෙසේ ලද සිවුරකින් කඨිනය ඇතුරුවහොත් අහිමි වෙයි.
සිවුරක් පූජා කරන්නේ නම් පැමිණි නොපැමිණි සතර දිගින් වඩින මහා සංඝරත්නය වෙනුවෙන් සඟ සතු සිවුරක් පූජා කිරීම අග්‍ර ම පූජාව වෙයි. කඨිනය අතුරන්නේ ඒ විහාරයේ වස් විසූ භික්ෂුවක් විසිනි. එනම් එම සිවුර, සඟ සතු සිවුරක් ද නොවෙයි. පුද්ගලික දාන මහත්ඵල මහානිසංස වන්නේ එම දාන දෙන්නන් සහ ලබාගන්නන් යන දෙකොටස ම සිල්වත් වූ විටෙක වෙයි.
දක්ඛිණාවිභඞ්ග සූත්‍රයෙහි මෙසේ දානය පිරිසිදු වීම පිළිබඳව සඳහන් වෙයි.
දානය පිරිසිදු වන ක්‍රම හතරකි.
“යමෙක් පහ වූ රාග ඇති ව, දැහැමින් ලැබෙන දෙයින්, පහන් සිත් ඇති ව, මහත් වූ කර්ම ඵල අදහමින් වීතරාගී උතුමන්ට දානයක් දේ නම්, ඒ දානය ඒකාන්තයෙන් ම ආමිස දාන අතුරින් අග්‍ර යැයි කියමි”.
අනාගත කාලයෙහි බුද්ධ ශාසනය විනාශ කරන්නා වූ, දුස්සීල, පවිටු ස්වභාව ඇති, කහ සිවුරු දරන්නා වූ (කසාවකන්ඨක) කෙනෙක් සිටිති. ඒ දුස්සීලයන් කෙරෙහි ද සංඝයා උදෙසා දන් දෙති. මම එකල්හිත් සඟ සතු දානය අප්‍රමාණ සංඛ්‍යාවකින් කිව නොහැකි අනුසස් ඇතැයි කියමි.
කෙසේ වත් සාංඝික දානයට වඩා පුද්ගලයෙකුට දෙන දානය මහත්ඵල යැයි නොකියමි.
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, මජ්ඣිම නිකාය 3, දක්ඛිණාවිභඞ්ග සූත්‍රය- පිටු අංක 520 - 527)
වරද වරද ලෙස දැක ආයති සංවරයේ පිහිටීම (නැවත නොකිරීමට හික්මීම) මේ බුද්ධ ශාසනයේ වැඩීමක් ම වෙයි.
යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් දැන දැන ම මෙවැනි රැවටීම් කරන්නේ නම් එහි ඇති විපාක ඉතා දරුණු විය හැකිය. කෙසේ දරුණු විපාක ද යන වග දැනගැනීමට පහත සඳහන් සූත්‍ර කියවා බලන්න.
බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා,
සංයුක්ත නිකාය 2, භික්ඛු සූත්‍රය - පිටු අංක 400 - 401
සංයුක්ත නිකාය 2, චවි සූත්‍රය - පිටු අංක 362 - 363
අඞ්ගුත්තර නිකාය 4, අග්ගික්ඛන්ධොපම සූත්‍රය - පිටු අංක 464 - 475
කර්ම සහ කර්මඵල පිළිබඳ අවබෝධයෙන් ලද විශ්වාසයක්, එනම් කම්මස්සකතා සම්මා දෘෂ්ටිය නොමැතිකමින් කඨින උත්සව මහත් කුසලයක් ලෙස වරදවා ප්‍රකාශ කරනු පෙනෙයි.
කඨින පෙරහැරවල ඇති නැටුම්, ගැයුම්, වැයුම් සහ විසුළු දසුන් නැරඹීම හේතුවෙන් රාග, ද්වේෂ සහ මෝහය වැඩි නොවන්නේ ද? එනම් අකුසල් නොවේ ද?
පොහොය දිනවල උපෝසථ සමාදන් වූ ගිහියන්ට මෙයින් හික්මෙන ලෙස වදාළේ එබැවිනි.
රාග, ද්වේෂ සහ මෝහ නිසා පීඩිත ව රාග, ද්වේෂ සහ මෝහ ප්රහාණයට දහම සොයා එන උපාසක උපාසිකාවන්ගේ රාග, ද්වේෂ සහ මෝහ තවදුරටත් වැඩෙන දේ කිරීම හෝ කරවීම අසත්පුරුෂ ක්රියාවක් නොවේ ද?
ඒ සඳහා ශබ්ද විකාශන යන්ත්ර ආදිය මගින් සිදු කරන, සමාධිය බිඳීමට හේතු වන ශබ්ද දූෂණය අකුසල් නොවන්නේ ද?
එසේ නම් උපාසක උපාසිකාවන්ට මහත් කඨින ආනිසංස ඇතැයි කියා ලොව රැවටීම සුදුසු නොවෙයි. ලාභ, සත්කාර, කීර්ති, ප්රශංසා, එනම් අසූචි සැපයට, මෝඩ සැපයට ලොල් වූ කෙනෙක් හෝ ධර්මය නොදන්නා කෙනෙක් මෙවැනි දේ කරයි නම් ඔහු ඒ කාරණාවෙන් ගැරහිය යුතු වෙයි.
තමන් සතර අපායට යන ප්රතිපදාවේ යෙදීම සහ තමන්ට සිව්පසය දෙන උපාසක උපාසිකාවන් බොරුවෙන් රවටා, ඔවුන් බොරුවෙහි සමාදන් කරවීම අසත්පුරුෂ ක්රියාවකි.
කඨින ආනිසංස නාගිත ස්ථවිරයන් වහන්සේ කියූ බවට ද සමහරු කියති. එසේ සඳහනක් ත්රිපිටකයේ නොමැත. එය බුද්ධ දේශනාවට නොගැළපෙන බැවින් පසුකාලීන ව දුස්සීල, අධර්මවාදී පුද්ගලයෙකු විසින් බුදු සසුන වැනසීමට ගෙතූ තවත් එක් බොරුවක් විය හැකිය.
තව දුරටත් කඨින ආනිසංස ගිහියන්ට ඇතැයි ඔබට සිතේ නම් කඨිනක්ඛන්ධය කියවා බලා මුළාවෙන්, රැවටීමෙන් මිදී එනම් මිථ්යා දෘෂ්ටිය දුරු කර, සම්මා දෘෂ්ටිය ඇති කර ගන්න.
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විනය පිටකය, මහාවග්ගපාළි 1, කඨිනක්ඛන්ධය - පිටු අංක 628 - 671)