මෙකල බොහෝ බෞද්ධ ගිහි පැවිදි ජනතාව පිරිත් සජ්ඣායනාව මහත්ඵල මහානිසංස ඇති ක්‍රියාවක් ලෙස වරදවා වටහා ගෙන සිටිති.
මෙසේ පිරිත් සජ්ඣායනා කිරීම බුදු රජාණන් වහන්සේ විසින් නොවදාළ බවත්, මෙය සද්ධර්මය අයථා ලෙස භාවිත කිරීමක් බවත් සහ පිරිත් සජ්ඣායනා කිරීම සියලු දුකෙන් මිදීම පිණිස හේතු නොවන බවත් කරුණු සහිත ව පෙන්වා දීමට මෙම ලිපියෙන් අදහස් කෙරෙයි.
ගෞතම බුදු රජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරා සියලු දෙවි මිනිසුන් දුකින් මුදවාලනු පිණිස මීට වසර දෙදහස් හයසියයකට පමණ පෙර ඉන්දියාවේ, බුද්ධගයාවේ ඇසතු බෝ මැඩ දී සම්මා සම්බුද්ධත්වයට පත්වූ සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් පුරා වසර හතලිස් පහක් ලෝ වැසියන් කෙරෙහි මහත් අනුකම්පාවෙන් සද්ධර්මය ලොවට වදාළ සේක.
සියලු දුකෙන් මිදීම පිණිස පවතින ඒ සද්ධර්මය නම් සතර සතිපට්ඨානය, සතර ඍද්ධිපාද, සතර සම්‍යක්ප්‍රධාන, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣඞ්ග සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙයි. මෙම සද්ධර්මය වැඩීමෙන් නිර්වාණය නම් වූ සියලු දුකෙන් අත්මිදීම සාක්ෂාත් කළ හැකි වෙයි.
බුදු රජාණන් වහන්සේ විසින් සියලු දුකෙන් මිදීමේ මාර්ගය මනා ව පෙන්වා දුන් සේක. එහෙත් අද මග වරදවා ගෙන මාරයාගේ වසඟයට පත් බොහෝ ගිහි පැවිදි පිරිස් ඒ මග ගමන් කරනවා වෙනුවට ගමන යා යුතු මග සජ්ඣායනා කොට නොමගින් දුකෙන් මිදීමට උත්සාහ කරති. මෙකල පවතින පිරිත් සජ්ඣායනාවන් මෙයට කදිම උදාහරණයක් වෙයි.
උපමාවක් වශයෙන් කිවහොත් අසනීපයකින් පීඩාවට පත් ව දුකට පත් ව සිටිනා ගිලනෙක් වෛද්‍යවරයෙක් වෙත ගොස් බෙහෙත් ගැනීම පිණිස බෙහෙත් වට්ටෝරුවක් (බෙහෙත් තුන්ඩුවක්) ලබා ගනියි. පසුව එම බෙහෙත් වට්ටෝරුව අතෙහි තබා ගෙන නැවත නැවත කියව කියවා සිටින්නේය. එනමුත් බෙහෙත් වට්ටෝරුවට බෙහෙත් රැගෙන නොබොන්නේය. ඔහුගේ අසනීපය සුව වේ ද?
එසේ ම සංසාර රෝගය නිසා ජරා මරණයෙන් පීඩාවට පත් ව දුකට පත් ව සිටිනා දෙව් මිනිසුන් මහත් බියකරු සංසාර රෝගයෙන් මිදවීම පිණිස සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරා අප වෙනුවෙන් බුදු රජාණන් වහන්සේ විසින් සංසාර රෝගයට සද්ධර්මය නම් බෙහෙත් වට්ටෝරුව සොයා ගෙන ලොවට හෙළි කළ සේක.
බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස එම සද්ධර්මය නැමති බෙහෙත් වට්ටෝරුව පානය කර මහත් බියකරු සංසාර රෝගයෙන් මිදුණහ. පසු කලෙක නුවණ මඳ ශ්‍රාවකයන් බිහිවූහ. ඔවුහු සංසාර රෝගයට ඇති සද්ධර්මය නම් බෙහෙත් වට්ටෝරුව අතෙහි තබා ගෙන නැවත නැවත කියව කියවා සිටින්නට පටන් ගත්හ. එනමුත් සද්ධර්මය නැමති බෙහෙත පානය නොකළහ.
ඔවුහු නවක ශ්‍රාවකයන්ට සද්ධර්මය නම් බෙහෙත් වට්ටෝරුව දුන්හ. නමුත් බෙහෙත පානය කර රෝගය සුව කර ගැනීමට කියා නොදුන්හ.
නවක ශ්‍රාවකයෝ ද තම ගුරුවරු ලෙස ම සංසාර රෝගය නිසා ජරා මරණයෙන් පීඩාවට පත් ව දුකට පත් ව ජරා මරණ තුරුලු කර ගෙන සද්ධර්මය නම් බෙහෙත් වට්ටෝරුව කියව කියවා සිටිති. එනමුත් බෙහෙත පානය කර රෝගය සුව කර නොගනිති. මෙකල පවතින පිරිත් සජ්ඣායනය මෙයට කදිම උදාහරණයකි.
සමහර විට පෙර විසූ නුවණැති ආචාර්යයන් වහන්සේලා වටිනා සූත්‍ර කිහිපයක් තම අතවැසියන්ට පුරුදු කිරීම පිණිස ත්‍රිපිටකයෙන් වෙන් කර ගන්නට ඇත. අතවැසියන් ඒවා පාඩම් කර ගන්නට ඇත. කාලයත් සමග අර්ථ, ධර්ම සහ ප්‍රතිභානය අතහැර නිරුක්තිය පමණක් ඉතිරි වීම සිදුවන්නට ඇතැයි සිතිය හැකි වෙයි.
ගෞතම බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කළ සූත්‍ර ද භික්ෂූන් සහ දෙවියන් විසින් දේශනා කළ බුදු රජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ සූත්‍ර ද පිරිත් පොතෙහි සඳහන් වෙයි. මෙයට අමතර ව පසු කාලීන ව එකතු වූ යම් යම් කොටස් ද එහි අඩංගු වෙයි.
අසූහාර දහසක් ධර්ම ස්කන්ධ ඇති ත්‍රිපිටකයේ මෙසේ පිරිත් සජ්ඣායනා කිරීම කළ බව හෝ කළ යුතු බව කිසි තැනක සඳහන් නොවෙයි. අටුවා, ටීකා, මහාවංශය ආදී සමහර පසුකාලීන පොත් තුළ පිරිත් සජ්ඣායනා කිරීම කළ බව හෝ කළ යුතු බව සඳහන් වෙයි.
අටුවාව බුද්ධ භාෂිත නොවන බවත් එය ආචාර්ය වාදයන් බවත් අටුවාවෙහි ම සඳහන් වෙයි.
සූත්‍ර, සූත්‍ර අනුලෝම, ආචාර්ය වාද, අත්තනෝමති යන සතරකි. සූත්‍ර යනු සංගායනා තුනෙහි හි සංගායනා වූ ත්‍රිපිටකයයි. සූත්‍ර අනුලෝම යනු මහාඅපදේශ වෙයි. එනම් සූත්‍රයට අනුලෝම වුයේ වෙයි. ආචාර්ය වාද යනු අටුවාවන්ය (අට්ඨකථා). අත්තනෝමති යනු න්‍යාය ගැනීමෙන් තම බුද්ධියෙන් ලබා ගත් අවබෝධයයි.
නෙත්තිප්පකරණට්ඨකථා, යුක්තිහාරවිභඞ්ග වර්ණනාව
පාලි මුද්‍රණය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය - පිටු අංක 67 - 70
සිංහල පරිවර්තනය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය - පිටු අංක 93
ටීකා යනු අටුවා විස්තර කිරීම සඳහා අටුවා ඇසුරෙන් ලියූ ග්‍රන්ථ වෙයි.
මහාවංශය යනු ලංකා ඉතිහාස ග්‍රන්ථයකි.
මේ සියලු ග්‍රන්ථ බුද්ධ භාෂිත නොවෙයි.
පිරිත් සජ්ඣායනා කිරීමෙන් හෝ කරවීමෙන් ලෙඩ රෝග සුව වේ නම්, දුක් කරදර නැති වේ නම්, සියලු දුකෙන් මිදේ නම් ගෞතම බුදු රජාණන් වහන්සේ විසින් ස්ථිර ව ම මෙම පිරිත් සජ්ඣායනා කොට නැත. ඒ මක් නිසා ද යත් බුදු රජාණන් වහන්සේට ද ලෙඩ රෝග ඇති විය (උදාහරණ; ලෝහිත පක්කන්දිකා රෝගය), කර්ම විපාක බුදු වීමෙන් පසුව ද ඵල දුන්නේය.
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අපදානපාළි 1, පුබ්බකම්මපිලෝතිකාපදානය - පිටු අංක 548 - 552)
පිරිත් සජ්ඣායනා කිරීමෙන් හෝ කරවීමෙන් ලෙඩ රෝග සුව වේ නම් රෝහල්වල භික්ෂු වාට්ටු අවශ්‍ය නැත. ස්වාමීන් වහන්සේලාට පිරිත් සජ්ඣායනා කොට ලෙඩ රෝග සුව කර ගත හැකි වෙයි. එසේ නොවන නිසා ස්වාමීන් වහන්සේලා රෝහල්වලින් වෙදකම් හෙදකම් කර ගනිති.
පිරිත් සජ්ඣායනා කිරීමෙන් හෝ කරවීමෙන් ලෙඩ රෝග සුව වේ නම්, දුක් කරදර නැති වේ නම් මේ රටේ පිරිත් සජ්ඣායනා කරන තරමට ලොව දියුණු ම රට විය යුතුය. එනමුත් ශ්‍රී ලංකාව තුන්වන ලෝකයේ රටකි.
මෙකල පිරිත් දේශනා බොහෝ විට කරනුයේ නිවන් දැකීමට පිටුවහලක් වශයෙන් නොව අපල උපද්‍රව හෝ ලෙඩ රෝග දුරු කිරීම, වෙළඳ ව්‍යාපාර දියුණු කිරීම, එසේ නැතහොත් උසස් පුද්ගලයන්ගේ සිත් දිනා ගැනීම ආදී ලෞකික හේතු මත වෙයි.
මෙවැනි ක්‍රියා කම්මස්සකථා සම්මා දිට්ඨිය නැති බැවින්, කර්ම සහ කර්ම ඵල විශ්වාසය නොමැති බැවින් හටගෙන ඇති බව පෙනෙයි. මෙලෙස කරන පිරිත් සජ්ඣායනාව ධර්මය වරදවා අල්ලා ගැනීමක් නොවන්නේ ද?
පිරිත් කීමෙන් ජාති, ජරා, මරණ දුකෙන් මිදීමට හැකි නොවෙයි. එහෙත් එම සූත්‍රවල ඇති වචනයන්ගේ අර්ථය අවබෝධයෙන් නිර්වාණය සාක්ෂාත් කළ හැකිය. සර්ව රාත්‍රික පිරිත් දේශනා, පිරිත් නූල්, පිරිත් පැන් ආදී දේ ගැන බුදු රජාණන් වහන්සේගේ ධර්මය ඇති ත්‍රිපිටකයෙහි සඳහන් නොවෙයි.
පසු කාලීන ව යම් යම් වංචාකාරී පිරිස් වැව් පිටින් ම පිරිත් කළහ.
මහ හඬින් ශබ්ද විකාශන යන්ත්‍ර ආදිය මගින් බලහත්කාරයෙන් පිරිත් සජ්ඣායනා හෝ වෙනත් ධර්ම දේශනා ඇස්සවීම ම බුදු රජාණන් වහන්සේගේ අවවාදයට පිටුපා කරන නොහොබිනා වූ අසංවර ක්‍රියාවකි. එය එම ශ්‍රාවකයන්ගේ නොහික්මුණු බවේ ලක්ෂණයකි.
ශබ්දය මාරයාගේ බව සියල්ල දන්නා වූ දක්නා වූ බුදු රජාණන් වහන්සේ විසින් වදාළ සේක.
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුත්ත නිකාය 1, කස්සක සූත්‍රය - පිටු අංක 210 - 213)
ශබ්දයට කැමති වීමෙන් රාගය වැඩෙයි. ශබ්දයට අකැමති වීමෙන් ද්වේෂය වැඩෙයි. ශබ්දයට මුලා වීමෙන් මෝහය හෙවත් අවිද්‍යාව වැඩෙයි. එසේනම් ප්‍රහාණය කළ යුතු රාග, ද්වේෂ සහ මෝහ වැඩිවන පිරිත් සජ්ඣායනා කර තව දුරටත් අකුසල් වඩන්නේ ද?
රාග, ද්වේෂ සහ මෝහ වැඩීම නිසා සීලයෙන් පිරිහෙයි, සීලයෙන් පිරිහීම නිසා සමාධියෙන් පිරිහෙයි, සමාධියෙන් පිරිහීම නිසා ප්‍රඥාවෙන් පිරිහෙයි. මෙසේ වීම නිරයගාමී වීම පිණිස පවතියි.
දුකින් මිදීමට අප්‍රමාදී ව කෙලෙස් තවන වීර්යයෙන් වසන මහණහුගේ නොමිදුණු සිත මිදෙන්නා වූ නොගෙවුණු ආශ්‍රව ගෙවෙන්නා වූ අනුත්තර වූ නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා වූ විමුක්තායතනයෝ පසකි.
ධර්මය සජ්ඣායනා කිරීම ධර්මය අවබෝධ කිරීම පිණිස ඇති තුන් වෙනි විමුක්තායතනය වෙයි. ධර්ම සජ්ඣායනය යනු ඉගෙන ගත් ධර්මය විස්තර වශයෙන් වචනයෙන් පුරුදු කිරීම සහ හැදෑරීම වෙයි.
ධර්ම සජ්ඣායනය පිළිබඳව විමුත්තායතන සූත්‍රයෙහි දැක්වෙන්නේ මෙසේ වෙයි.
මේ සසුනෙහි භික්ෂුවක් ධර්මය ශ්‍රවණය නොකරයි. දේශනා ද නොකරයි. එහෙත් ඔහු නිවැරදි ව ඇසූ පරිදි, දැරූ පරිදි, ධර්මය සජ්ඣායනය (විස්තර වශයෙන් පුරුදු කිරීම, හැදෑරීම) කරයි. මෙසේ ඒ ධර්ම සහ අර්ථ විඳින ඔහුට ප්‍රමෝදය උපදියි. ප්‍රමෝදිතයාට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තාහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇත්තාහු සුව විඳියි. සුව ඇතියහුගේ සිත සමාධිමත් වෙයි.
මෙසේ අප්‍රමාදී වීර්යයෙන්, කෙලෙස් ප්‍රහාණය රිසි ව වසන මහණහුගේ නොමිදුණු සිත මිදේ නම්, නොගෙවුණු ආශ්‍රව ගෙවේ නම්, සාක්ෂාත් නොකළ නිවන සාක්ෂාත් කෙරේ නම්, මේ ඒ තෙවන විමුක්තායතනයයි.
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 3, විමුත්තායතන සූත්‍රය - පිටු අංක 32 - 37)
නමුත් අද කරන පිරිත් සජ්ඣායනයෙන් ධර්මය අවබෝධය පිණිස ඇත්තේ ඉතා මඳ පිටුවහලකි. පාලි භාෂාවෙන් කියන ඒ ධර්මයන්ගේ අර්ථය දේශනා කරන හා අසා සිටින දෙපසට ම බොහෝ විට නොවැටහෙයි. මිහිරි හඬ, තාලය, ඇද පැද කීම සහ දික් වූ ගීත ස්වරයෙන් ගායනා කිරීම නිසා වචන තේරුම දැනගෙන අසා සිටින අයට පවා ඒවායේ අර්ථ අපැහැදිලිය. බොහෝ විට දෙපසකට වී කියන නිසා දේශනා කරන්නන්ට ද එහි අර්ථය තේරුම් ගැනීමට අපහසු වෙයි.
දික් වූ ගීත ස්වරයෙන් ධර්මය ගායනා කිරීමේ දෝෂ පහකි.
භාග්‍යවතුන් වහන්සේ මේ දෝෂ නිසා දික් වූ ගීත ස්වරයෙන් ධර්මය ගායනා කිරීම භික්ෂූන්ට නොකළ යුතු බවට සිල් පද පැනවූ සේක. එනමුත් හඬ නඟා ධර්මය කීම අනුදැන වදාළ සේක.
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විනය පිටකය, චුල්ලවග්ගපාළි 2 - පිටු අංක 12 - 13 / අඞ්ගුත්තර නිකාය 3, ගීතස්සර සූත්‍රය - පිටු අංක 404 - 405)
එසේ නම් වැඩිය යුතු සිතෙහි සමාධිය බිඳ වැටීමට ඉවහල් වන පිරිත් සජ්ඣායනා කිරීම කළ යුතු ද?
මෙකල බොහෝ බෞද්ධ ආගමික ස්ථානවල සහ නිවෙස්වල ශබ්ද විකාශන යන්ත්‍ර ආදිය මගින් ඝෝෂාකාරී ලෙස මහ හඬින් අසල්වැසි ජනතාවට බාධා වන අයුරින් පිරිත් දේශනා ලොවට බලහත්කාරයෙන් ඇස්සවීමට ද උත්සාහ දරනු පෙනෙයි.
එම ඝෝෂාකාරී ක්‍රියා බුදු දහමට නොගැළපෙන බව ත්‍රිපිටකය ඇසුරින් ම පෙන්වා දිය හැකි වෙයි.
එසේ නම් බුදු රජාණන් වහන්සේගේ අවවාදයට පිටුපා මහ හඬින් උස් හඬින් පවත්වන මෙවැනි ධර්ම ප්‍රචාර, කරුණු දැන තුනුරුවන් සරණ ගිය කිසි ම ශ්‍රාවකයෙක් හෝ ශ්‍රාවිකාවක් නොකරනු ඇත.
ඔබ කැමති දේ කීමට හෝ ඇසීමට ඔබට අයිතියක් ඇත. එහෙත් අන් අයගේ විවේකය හෝ සමාධිය බිඳීමට ඔබට අයිතියක් නැත. එසේ ම බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වී ඒ ධර්මය විකුණා ගෙන කෑමට හෝ වරදවා විනාශ කිරීමට ද ඔබට අයිතියක් නැත. මෙසේ පිරිත් සජ්ඣායනා කිරීම සද්ධර්ම ප්‍රතිරූපකයක් නොවේ ද?
බොහෝ විට පාලි භාෂාවෙන් ඇසෙන මේ පිරිත් පාලි භාෂාව නොදන්නා බහුතරයකට කිසි ම තේරුමක් වටහා ගත නොහැකි ශබ්ද මාත්‍රයක් ම වනු ඇත. එයින් කිසි ම ධර්ම අවබෝධයක් ද නොලැබෙනු ඇත.
නුවණින් සිතා බලා තීරණය කිරීම ඔබ සතුය.