Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / මෙ කල පරස්පර අර්ථ ඇති ධර්ම කරුණු වල නිවැරදි අර්ථ සහ විග්‍රහ /

යුද්ධයට සමාදන් කිරීම යුද්ධ කිරීම සහ එහි විපාක

යෝධාජීව සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුත්ත නිකාය 4 - පිටු අංක 562 - 565)

යුධ සෙබළ ගාමිණි භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ, මෙසේ ඇසුවේය.

“යුධ සෙබළෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේ ද, වෑයම් කෙරේ ද, සතුරෝ නසත් ද, මරණයට පමුණුවත් ද, ඒ යුධ සෙබළා මරණින් පසු සරඤ්ජිත දෙවියන් බවට පත්වේ යැයි යුධ ආචාර්ය ප්‍රාචාර්යවරු පැවසූහ. මේ කරුණ ගැන ඔබ වහන්සේ කුමක් වදාරන සේක් ද?”

“මෙසේ නොඅසන්න”

යැයි භාග්‍යවතුන් වහන්සේ දෙවරක් ම පැවසුව ද තුන්වෙනි වරටත් ගාමිණි මෙය ම ඇසීය.

“ගාමිණි, මෙය නොඅසන්න යැයි කියූව ද ඔබ නැවත නැවතත් අසන බැවින් විසඳන්නෙමි.

ඒ යුධ සෙබළුන් මේ සත්වයෝ නැසෙත්වා, මැරෙත්වා, විනාශ වෙත්වා යි සිතා ද, ඔවුන්ගේ සිත් මුලින් ම පවිටු නපුරු වරදෙහි (අකුසල්හි) පිහිටයි. එසේ උත්සාහ කරන වෑයම් කරන ඔවුහු සතුරන් නසත්, මරත්. ඒ යුධ සෙබළු මරණින් පසු ‘සරඤ්ජිත’ නම් නිරයක් වේ ද එහි උපදිති. එසේ යුධ සෙබළෙක් සතුරන් නසා, මරණයට පමුණුවා, සරඤ්ජිත දෙව්ලොවට පැමිණේ යැයි යම් කෙනෙකුට මෙසේ දැක්මක් වේ ද එය ඔහුගේ මිථ්‍යා දෘෂ්ටියයි. ඒ මිථ්‍යා දෘෂ්ටිය නිසා ඒ පුද්ගලයාට නිරය හෝ තිරිසන් යෝනිය අයිති වෙයි”.

එවිට යුධ සෙබළ ගාමිණි හඬන්නට පටන් ගත්තේය.

“මම තොපට මෙය නොඅසන්න යැයි කීවෙමි. නුඹගෙන් එයට අවකාශය නොලැබුවෙමි”

යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම එසේ වදාළ හෙයින් නොහඬමි. යුධ සෙබළුන් යුද්ධයේ දී සතුරන් මරා දෙව්ලොව උපදී යැයි පෙර සිටි මාගේ ආචාර්ය ප්‍රාචාර්යවරුන් විසින් දිගු කලෙක සිට මා රවටන ලදි. මට වංචා කරන ලදි. මා පොළඹවන ලදි.

ස්වාමීනි, ඉතා යහපති, ඉතා යහපති.

  • මුණින් නැමූ දෙයක් උඩුකුරු කර පෙන්වන්නා සේ,
  • වැසූ දෙයක් විවෘත කර පෙන්වන්නා සේ,
  • මං මුළා වූ කෙනෙකුට මග කියන්නා සේ,
  • අඳුරේ සිටිනා කෙනෙකුට, ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි තෙල් පහනක් දල්වන්නා සේ,

ඔබ වහන්සේ විසින් නොයෙක් අයුරින් පැහැදිලි ව සත්‍යය දේශනා කරන ලදි. මම අද පටන් තුනුරුවන් සරණ යමි. මා දිවිහිම් කොට තුනුරුවන් සරණ ගිය උපාසකයෙකු ලෙස දරන සේක්වා” යි ගාමිණි පැවසීය.


බාගත ​කිරීමට