මහණ බමුණෝ තම ශාසනයේ ම පිරිසිදු වීම, පාරිශුද්ධිය, විමුක්තිය වේ, ‘මෙය ම සත්‍ය වෙයි, අන් සියල්ල බොරුයැ’ යි තම දෘෂ්ටිය කියති, පවසති, ව්‍යවහාර කෙරෙති. තම ශාස්තෘන් වහන්සේ, ඒ ධර්ම දේශනාව, ඒ පිරිස, ඒ දෘෂ්ටිය, ඒ ප්‍රතිපදාව, ඒ මාර්ගය හැර සියලු අනෙකුත් මත බැහැර කෙරෙති, ප්‍රතික්ෂේප කෙරෙති, දුරු කෙරෙති.
ඒ කෙසේ ද යත්;
අනෙකුත් ශාස්තෘන් වහන්සේලා සියල්ල දත් නොවෙයි, ඔවුන්ගේ ධර්ම මනා ව කියන ලද්දේ නොවෙයි, ඒ පිරිස මනා ව පිළිපන්නේ නොවෙයි, ඒ දෘෂ්ටිය යහපත් නොවෙයි, ඒ ප්‍රතිපදාව මනා ව පනවන ලද්දේ නොවෙයි, ඒ මාර්ගය නිවනට පමුණුවන්නේ නැත. එහි පිරිසිදු වීමක් නැත, පාරිශුද්ධියක් නැත, විමුක්තියක් නැත. ඔවුහු හීනයෝය, නිහීනයෝය, පව්කාරයෝය යැයි කියති, පවසති, ව්‍යවහාර කෙරෙති.
යම් ශාස්තෘන් කෙනෙක්, ධර්මයක්, පිරිසක්, දෘෂ්ටියක්, ප්‍රතිපදාවක්, මාර්ගයක් ඇසුරු කර එයට ම ඇලී, එයට ම බැස ගත්තාහු තම දෘෂ්ටියෙහි, කැමැත්තෙහි, රුචියෙහි, ඇදහීමෙහි යහපත් බව කියති, සුන්දර බව කියති, ප්‍රඥාවත් බව කියති, මනා න්‍යායක් ඇති බව කියති, ස්ථිර ව නිවැරදි යැයි කියති.
මෙසේ බොහෝ මහණ බමුණෝ වෙන ම සත්‍යයන්හි සිට මෙය ම සත්‍ය වෙයි, අන් සියල්ල බොරු යැයි තම දෘෂ්ටිය කියති, පවසති, ව්‍යවහාර කෙරෙති.
ඔවුහු වාද කැමැත්තෙන් පිරිස මැදට පැමිණ ඔවුනොවුන් තමන්ගේ ප්‍රතිවාදීන් මෝඩයන් යැයි දකිති. අන්‍ය ශාස්තෘන් ඇසුරු කළ ඔවුහු ප්‍රශංසාවන් කැමැත්තෙන් තම වාදය යහපත් යැයි, සුන්දර යැයි, ප්‍රඥාවත් යැයි, මනා න්‍යායක් ඇතැයි, ස්ථිර ව නිවැරදි යැයි උඩඟු කථා කියති.
පිරිස් මැද වාද කථාවෙහි උත්සාහවත් වූයේ තමන්ට ප්‍රශංසා ලැබේ යැයි කැමැත්ත හේතුවෙන් ‘මට ජය වේ ද පරාජය වේ ද, මම කෙසේ නිග්‍රහ කරම් ද, මට කරන නිග්‍රහයන්ට කෙසේ පිළියම් කරන්නෙම් ද’ යැයි පළමු ව ම සැක ඇති වන්නේය. යම් ප්‍රශ්න විමසන්නෝ වෙත් ද ඔහුගේ වාදය තේරුමක් නැති ව කියන ලදැයි, වරදවා කියන ලදැයි, අන් දෘෂ්ටි මනා ව නොබිඳිණ ලදැයි වශයෙන් ගෙන මෙසේ බැහැර කරති. ඔහුගේ වාදය බැහැර වත් ම අසහනයට පත් වෙයි. අනුන්ගේ වැරදි සොයන ඔහු නින්දාවෙන් කෝපයට පත්වෙයි.
ප්‍රශ්න විමසන්නන් විසින් ඔහුගේ වාදය යම් හෙයකින් හීන, පහත් යැයි සලකා බැහැර කරන ලදැයි කියත් ද, වාදයෙන් පිරිහීමට පත් ඔහු වැලැපෙයි, ශෝක කරයි, දුකට පැමිණෙයි.
මේ විවාදයෝ මේ බුද්ධ ශාසනයෙන් පිටත පහළ වූවාහු වෙති. මේ විවාදයන්ගෙන් නින්දාව ද ප්‍රශංසාව ද, ජය ද පරාජය ද, ලාභ ද අලාභ ද, සොම්නස ද දොම්නස ද වෙයි. මේ ආදීනවයන් දැක කලහ නවත්වන්නේය. ප්‍රශංසාව ලැබීමට වඩා එහි වෙනත් වටිනාකමක් නැති හෙයිනි.
තව ද යමෙක් තමා විසින් ගන්නා ලද දෘෂ්ටියෙහි පැසසුම් ලැබුයේ වේ ද, පිරිස් මැද ඒ දෘෂ්ටි වාදය පවසා එයින් ජය ලැබ සතුටු වී ඔහු දත් විදහා සිනාසෙයි. ඒ ජය ලැබීමෙන් යළි ඔහු උඩඟු වෙයි.
යම් උඩඟු බවක් වේ ද එය ඔහුට විනාශය වෙයි, උවදුරු වෙයි. යළි හෙතෙම මානය ද අතිමානය ද කරන්නේය. කලහ විවාදයන්හි මේ දෝෂ දැක නුවණැත්තා කලහ නොකරන්නේය, විවාද නොකරන්නේය, දබර නොකරන්නේය, ඒවා දුරු කරන්නේය, සංසිඳුවන්නේය, නැවත ඇති වීම වළක්වන්නේය.
ස්කන්ධ, ධාතු, ආයතන, පටිච්චසමුප්පාද, සතර සතිපට්ඨානය, සතර සම්‍යක්ප්‍රධානය, සතර ඍද්ධිපාදය, පඤ්ච ඉන්ද්‍රිය, පඤ්ච බල, සප්ත බොජ්ඣඞ්ග, මාර්ග ඵල සහ නිවන පිළිබඳව දක්ෂයෝ වෙත් ද ඔවුහු දෘෂ්ටි ඇසුරෙන් කරන කලහ, ගැටුම්, විවාද ආදියෙන් පිරිසිදු වීම, මිදීම, විමුක්තිය නොකියති, නොදක්වති, නොපවසති.
යම් සේ රාජ භෝජනයෙන් පෝෂණය ලද ශූරයෙක් තම ප්‍රතිමල්ලවයා යම් තැනක වේ ද එහි ම යව, කලහ සඳහා වූ යම් කෙලෙස් වෙත් ද එය මට පළමු ව ම ප්‍රහාණය වී ඇත.
යම් කෙනෙක් එක්තරා දෘෂ්ටියක් දැඩි ව ගෙන කලහ විවාද කෙරෙත් ද, යළි මෙය ම සත්‍ය වෙයි අන් සියල්ල ම බොරු යැයි කියත් ද තෝ ඔවුන් සමඟ වාද කරව. මෙසස්නෙහි වාදයක් උපන් කල්හි එයට විරුද්ධ ව වාද කරන්නෝ නැති හෙයිනි.
යම් කෙනෙක් කෙලෙස් මාර සෙනඟ වනසා සැට දෙකක් වූ දෘෂ්ටියෙන් තවත් දෘෂ්ටියකට විරුද්ධකම් නොකරත් ද, මෙසස්නෙහි යමෙකුට ශ්‍රේෂ්ඨ යැයි දැඩි ව ගන්නා ලද කිසිවක් නැත්ද ඔවුන් කෙරෙන් ඔබ කෙසේ නම් ප්‍රතිමල්ලවයෙක් ලබන්නේ ද?
තව ද තෝ සිතින් දෘෂ්ටිගතයන් පිළිබඳව සිතමින්, කල්පනා කරමින් ආයෙහි ද? කෙලෙස් ප්‍රහාණය කළ තථාගතයන් වහන්සේ සමඟ වාදයට තෝ පැමිණියෙහිය. එතෙකුදු වුවත් එක් වචනයක්වත් අසන්නට නොලබන්නේය.