Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් /

භික්ෂු භික්ෂුණීන්ට රන් රිදී මිල මුදල් අකැප වෙයි.
දැන දැන පිළිගැනීමත් අකුසල්,
උපාසක උපාසිකාවන් විසින් පූජා කිරීමත් අකුසල්

භික්ෂු භික්ෂුණීන්ට රන් රිදී මිල මුදල් අකැපය. යමෙක් ඒවා පිළිගනියි නම් ඉවසයි නම් අශ්‍රමණ (පැවිද්දෙකු නොවන) ධර්ම ඇත්තෙකි.

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 4, මණිචූළක සූත්‍රය - පිටු අංක 588 - 591)

ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට (ගෞතම බුදු රජාණන් වහන්සේ ශාක්‍ය කුලයේ උපන් නිසා භාග්‍යවතුන්ගේ ශ්‍රාවකයෝ ශාක්‍ය පුත්‍රයන් ලෙස හඳුන්වනු ලබති.) රන් රිදී, මිල මුදල් කැප නොවෙයි.

ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී මිල මුදල් නොඉවසති. රන් රිදී, මිල මුදල් නොපිළිගනිති.

ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රුවන් භාවිතයෙන් වෙන් වී සිටිති.

ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී, මිල මුදල්වලින් ඉවත් වී වෙසෙති.

යමෙකුට රන් රිදී, මිල මුදල් කැප වේ නම් ඔහුට පංචකාම ගුණය ම කැප වෙයි. යමෙකුට පංචකාම ගුණය කැප නම් ඒකාන්තයෙන් ම අශ්‍රමණ ධර්ම ඇත්තෙකි. අශාක්‍ය පුත්‍ර ධර්ම ඇත්තෙකි යි දරා ගත යුතුය.

තණ කොළවලින් අවශ්‍යතාවයක් ඇත්නම් තණ කොළ සෙවිය යුතුය. (කුටිය සෑදීමට සහ ඇතිරි සෑදීමට තණ කොළ යොදා ගනියි.) ලී අවශ්‍ය නම් ලී සෙවිය යුතුය. ගැලක් (භාණ්ඩ ප්‍රවාහනයට සහ දිගු ගමනක් යාමට, රෝගී භික්ෂුවකගේ ප්‍රවාහනයට ආදිය සඳහා) අවශ්‍ය නම් ගැලක් සෙවිය යුතුය.

පුරුෂයෙකුගෙන් (ආරාමිකයෙකුගෙන් හෝ කැපකරුවෙකුගෙන්) ප්‍රයෝජන ඇත්නම් පුරුෂයෙකු සෙවිය යුතුය.

කිසි ම අයුරකින් රන් රිදී, මිල මුදල් නොඉවසිය යුතු ම ය. නොසෙවිය යුතු ම ය. භාග්‍යවතුන් වහන්සේ විසින් මණිචූලක ගාමිණිට මෙසේ වදාළ සේක.

එහෙත් මෙකල සහ මෑත අතීතයෙහි බුදු රජාණන් වහන්සේගේ වචනය ඉක්මවා ගත් අශ්‍රද්ධාවන්ත යම් යම් පුද්ගලයන් විසින් යම් යම් හෙතු මත රන් රිදී, මිල මුදල් භික්ෂු භික්ෂුණීන්ට පිළිගත හැකි බවට දේශනා කරනු ලැබෙයි.

තමන් වැරැද්දක් කරනවාටත් වඩා බුදු රජාණන් වහන්සේගේ වචනය නොපිළිගැනීම, ගැරහීම මහත් අකුසලයක් වනු ඇත.

බුදු රජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණීන්ට රන් රිදී, මිල මුදල් පිළිගැනීම, ඉවසීම, ඒවායෙන් ගනුදෙනු කිරීම වැළැක්වීමට ශික්ෂා පද පැනවූ සේක.

1. රූපිය ශික්ෂාපදය

රන් රිදී, මිල මුදල් තමා විසින් ගනියි නම් හෝ අනුන් ලවා ගන්වා නම් හෝ ලඟ තබන ලද්දක් ඉවසයි නම් නිසඟි පචිති වෙයි.

නිසඟි පචිති යනු; වරදට හේතු වූ දේ අතහැර කළ වරද දැන දැක භික්ෂුවකට හෝ සංඝයාට හෙළිකර නැවත නොකිරීමට පොරොන්දු වීමෙන් පිරිසිදු වන වැරදි නිසඟි පචිති වෙයි.

යම් භික්ෂුවක් රන් රිදී, මිල මුදල් තමා විසින් ගත්තේ නම් හෝ අනුන් ලවා ගත්තේ නම් හෝ ලඟ තබන ලද්දක් ඉවසුවේ නම් සංඝයා මැද දී එය අතහැරිය යුතුය. ඒ භික්ෂුව සංඝයා වෙත ගොස් උත්තරාසංග සිවුර ඒකාංශ කොට වැඩිමහලු භික්ෂුන්ගේ දෙපා වැඳ මෙසේ කිව යුතුය.

“ස්වාමීන් වහන්ස මම රන් රිදී, මිල මුදල් පිළිගත්තෙමි. මෙය මා විසින් අතහැරිය යුතුය. මෙය සංඝයා වෙත භාරදෙමි.”

ව්‍යක්ත වූ ප්‍රතිබල වූ භික්ෂුවක් වෙත මෙසේ පිළිගත් රන් රිදී, මිල මුදල් ආදිය අතහැර කළ වරද දැන දැක වරද හෙළිකර නැවත නොකිරීමට පොරොන්දු විය යුතු වෙයි.

ඉදින් එහි ආරාමිකයෙකු හෝ උපාසකයෙකු හෝ පැමිණේ නම් ‘මිත්‍රය මෙය දනුව’ යැයි කිව යුතුය. එම ආරාමිකයා හෝ උපාසකයා මෙයින් කුමක් ගෙන ආ යුතු දැයි ඇසුවහොත් මේ දේ ගෙනෙන්න යැයි නොකිවයුතු වෙයි. ගිතෙල්, තලතෙල්, මී පැණි, උක් පැණි ආදිය කැප බව පැවසිය යුතුවෙයි. හෙතෙම එයින් කැප දෙයක් ගෙනවිත් දුන්නේ නම් රන් රිදී, මිල මුදල් පිළිගත් ඇවතට පත් භික්ෂුව හැර අන් සියලු භික්ෂුන් පරිභෝග කළ යුතුය.

ඉදින් මෙසේ විසඳේ නම් යහපත්ය. එසේ නැතහොත් ‘මිත්‍රය මෙය වීසි කරන්න’ යැයි කිව යුතුය. ඔහු වීසි නොකළේ නම් ඡන්දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මෝහයෙන් අගතියට නොයන සහ ඉවත් කළ නොකළ දෙය දන්නා වූ භික්ෂුවක් ඒ රන් රිදී, මිල මුදල් වීසි කිරීම පිණිස සංඝයා විසින් සම්මත කළ යුතුය.

ඔහු විසින් වීසි කළ තැන පිළිබඳව නිමිති රහිත ව වීසි කළ යුතුවෙයි. ඔහු විසින් වීසි කළ තැන පිළිබඳව නිමිති සහිත ව වීසි කළහොත් ඔහුට ද දුකුලා ඇවත සිදුවෙයි.

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විනය පිටකය, පාරාජිකපාළි, රූපියසික්ඛාපදය - පිටු අංක 580 - 585)

2. රූපියසංවොහාර ශික්ෂාපදය

යම් භික්ෂුවක් නොයෙක් නොයෙක් ආකාරයෙන් රන් රිදී, මිල මුදල් ගණුදෙනු කරයි නම් නිසඟි පචිති වෙයි.

රූපිය ශික්ෂාපදයෙහි මෙන් ම මෙම ශික්ෂාපදය කඩ කළහොත් වරද දැන දැක සංඝයාට වරද හෙළිකර නැවත නොකිරීමට පොරොන්දු වී, එම රන් රිදී, මිල මුදල් පෙර පරිදි ම ඉවත් කළ යුතු වෙයි.

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විනය පිටකය, පාරාජිකපාළි, රූපියසංවොහාර සික්ඛාපදය - පිටු අංක 584 - 589)

බුදු රජාණන් වහන්සේ විසින් සාමනේර සාමනේරීන්ට ද රන් රිදී, මිල මුදල් පිළිගැනීම හැර දමා රන් රිදී, මිල මුදල් පිළිගැනීමෙන් වැළකීම පිණිස ශික්ෂා පද පැනවූ සේක.

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විනය පිටකය, මහාවග්ගපාළි 1, මහාඛන්ධකය - පිටු අංක 208 - 211)

කරුණු දහයක් සඳහා බුදු රජාණන් වහන්සේ භික්ෂූන්ට සිල් පද පැනවූ සේක.

  1. සංඝයාගේ හිත සුව පිණිස
  2. සංඝයාගේ පහසු බව පිණිස
  3. දුස්සීලයන්ට නිග්‍රහය පිණිස
  4. සිල්වත් භික්ෂූන්ගේ පහසුව පිණිස
  5. මෙලොව දී පැමිණිය හැකි දුක දුරු කිරීම පිණිස
  6. පරලොව දී පැමිණිය හැකි දුක නැසීම පිණිස
  7. නොපැහැදුණවුවන්ගේ පැහැදීම පිණිස
  8. පැහැදුණවුවන්ගේ වැඩි පැහැදීම පිණිස
  9. සද්ධර්මයේ චිරස්ථිතිය පිණිස
  10. රාග, ද්වේෂ හා මෝහ නැති කිරීම (නිවන) පිණිස

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විනය පිටකය, පරාජික පාළි - පිටු අංක 48 - 49)

යම් භික්ෂුවක් රන් රිදී, මිල මුදල් පිළිගනියි නම්, ඉවසයි නම්, ගනුදෙනු කරයි නම් එම භික්ෂුව ඒ කාරණාවෙන් ගැරහිය යුතු වෙයි.

යමෙක් ගෞතම බුද්ධ ශාසනයේ පැවිද්දන්ට රන් රීදි, මිල මුදල් කැප යැයි ඇදහීම මිථ්‍යා දෘෂ්ටියකි.

බුදු රජාණන් වහන්සේ පිරිනිවී වසර සියයක් ගත වූ කල්හි විශාලා වැසි වජ්ජිපුත්තක භික්ෂූහු දසවස්තුවක් ප්‍රකාශ කළහ.

පොහෝ දිනයේ දී රන් බඳුනක් ජලයෙන් පුරවා භික්ෂු සංඝයා මැද තබා උපාසකයන්ට මෙසේ කීහ. “ඇවැත්නි, සංඝයාට කහවනුවක් හෝ අඩ කහවනුවක් හෝ කහවනු පාදයක් හෝ රන් මස්සක් දෙනු මැනවි. සංඝයාට පිරිකර වලින් වැඩ ඇත”. මෙසේ කී කල්හි කාකණ්ඩ පුත්‍ර යස ස්ථරවිරයන් වහන්සේ විසින් මෙය අකැප බව උපාසකයනට දක්වා, රන් රිදී, මිල මුදල් භික්ෂූන්ට අකැප බව පෙන්වූ සේක.

මෙම මතභේදය හේතුවෙන් දෙවැනි ධර්ම සංගායනාව පවත්වා රන් රිදී, මිල මුදල් පිළිගැනීම, ඉවසීම හා පරිහරණය අකැප බව සහ තවත් කාරණා නවයක් විනිශ්චය කළ සේක. මෙම විනිශ්චය සඳහා රහතන් වහන්සේලා හත්සිය නමක් සහභාගී වූ සේක.

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, චුල්ලවග්ග පාළි 2, සත්තසතිකක්ඛන්ධකං - පිටු අංක 566 - 599)

භික්ෂූන් වහන්සේලා සිල් පදය දැනගෙන කරන සියලු සිල් පද බිඳීම් අකුසල් වෙයි. කුසල් වන කිසිම සිල් බිඳ ගැනීමක් නැත.

ආපත්ති අධිකරණ අකුසල් වේද? අව්‍යාකෘත වේද? කිසි ආපත්ති අධිකරණ‍යෙක් අකුසල් වන්නේය, කිසි ආපත්ති අධිකරණයක් අව්‍යාකෘත වන්නේය. කුසල් වූ ආපත්ති අධිකරණයෙක් නැත.

එහි අකුසල් වූ අපත්ති අධිකරණය කවරේද?

දන්නේ, හඳුනන්නේ, සිතා, උපක්‍රම කොට යම් ශික්ෂාපදයක් ඉක්මවයිද? මේ අකුසල් වූ ආපත්ති අධිකරණයැයි කියනු ලැබෙයි.

එහි අව්‍යාකෘත වූ අපත්ති අධිකරණය කවරේද?

නොදන්නේ, නොහඳුනන්නේ, නොසිතා උපක්‍රම නොකොට යම් ශික්ෂාපදයක් ඉක්මවයිද? මේ අව්‍යාකෘත වූ ආපත්ති අධිකරණයැයි කියනු ලැබෙයි.

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, චුල්ලවග්ග පාළි 1, සමථක්ඛන්ධකං - පිටු අංක 388 - 391)

ආපත්තාධිකරණ යනු;

ඇවැත් කඳු (ආපත්ති ස්කන්ධ) පස ම ආපත්තාධිකරණයි, ඇවැත් කඳු සත ම ආපත්තාධිකරණයි.

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, චුල්ලවග්ග පාළි 1, සමථක්ඛන්ධකං - පිටු අංක 378 - 379)

ඇවැත් කඳු පස යනු;

පාරාජිකාපත්ති ස්කන්ධ, සඞ්ඝාදිසේසපත්ති ස්කන්ධ, පාචිත්තියාපත්ති ස්කන්ධ, පාටිදේසනීයාපත්ති ස්කන්ධ සහ දුක්කටාපත්ති ස්කන්ධ වෙයි.

ඇවැත් කඳු සත යනු;

පාරාජිකාපත්ති ස්කන්ධ, සඞ්ඝාදිසේසපත්ති ස්කන්ධ, ථුල්ලච්චයාපත්ති ස්කන්ධ, පාචිත්තියාපත්ති ස්කන්ධ, පාටිදේසනීයාපත්ති ස්කන්ධ, දුක්කටාපත්ති ස්කන්ධ සහ දුබ්භාසිතාපත්ති ස්කන්ධ වෙයි.

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, පරිවාරපාළි 1, අන්තරපෙය්‍යාලය - පිටු අංක 316 - 317)

භික්ෂූන්ට මිල මුදල් සම්බන්ධ ඇවැත් 02 පාචිත්තියාපත්ති ස්කන්ධයන්ට අයිති වෙයි.

  1. රූපිය ශික්ෂාපදය
  2. රූපියසංවොහාර ශික්ෂාපදය

බුදු රජාණන් වහන්සේ විසින් සාමනේර සාමනේරීන්ට ද රන් රිදී, මිල මුදල් පිළිගැනීම හැර දමා රන් රිදී, මිල මුදල් පිළිගැනීමෙන් වැළකීම පිණිස ශික්ෂා පද පැනවූ සේක.

එසේ නම් බුදු රජාණන් වහන්සේගේ සද්ධර්මය සහ විනය ඇති ත්‍රිපිටකයට අනුව (එක් එක් ස්වාමීන් වහන්සේලාගේ පොත් නොවෙයි.) මිල මුදල් පිළිගැනීම අකුසල් ම වෙයි.

සාමනේර සාමනේරීන්ට පැවිදි වන විට මෙකල සිල්පද සමාදන් කරනු ලැබෙයි. ඔවුහු සිටිය යුත්තේත් ගුරුවරයෙකු යටතේ මය. එසේ නම් නොදැන මිල මුදල් පරිහරණයක් ඔවුන් අතින් සිදු නොවිය හැක.

උපසම්පදා වූ පසුව භික්ෂුවක් වසර 05ක් ම ව්‍යක්ත විශාරද වැඩිහිටි භික්ෂුවක් යටතේ සිටිය යුතු වෙයි. උපසම්පදා වූ පසුව භික්ෂු භික්ෂුණීන් දවස් 14 න් හෝ 15න් උපොසථ කර්මය කළ යුතු වෙයි. එවිට මේ සිල් පද අන්තරායක් නැති විට සම්පූර්ණයෙන් වැඩිහිටි භික්ෂුවක් විසින් දේශනා කරනු ලැබෙයි. එසේ නම් සිල්පද නොදැන සිටීමක් විය නොහැක. එසේ නම් නොදැන මුදල් පරිහරණයක් ඔවුන් අතින් ද සිදු නොවිය හැක.

එසේ ම කුසල සිතෙන් ඇවැත් කළහොත් එය කුසල් වන බව ද වරදවා ගෙන සමහර පොත් වලත් සමහර දේශනාවලත් සඳහන් වෙයි. මෙය විනය පිටකයේ පරිවාරපාළි 2 පොතේ පිටු අංක 24 සහ 25 පිටුවල පහත සඳහන් වාක්‍යයෙහි අර්ථය වරදවා ගැනීම නිසා සිදුවී ඇති බව පෙනෙයි.

පාලි වාක්‍යය;

අත්ථාපත්ති කුසලචිත්තො ආපජ්ජති. අත්ථාපත්ති අකුසලචිත්තො ආපජ්ජති. අත්ථාපත්ති අව්‍යාකතචිත්තො ආපජ්ජති.

සිංහළ වාක්‍යය;

කුසල් සිත් ඇති වැ පැමිණෙන ඇවතක් ඇත, අකුසල් සිත් ඇති වැ පැමිණෙන ඇවතක් ඇත, අව්‍යාකෘත සිත් ඇති වැ පැමිණෙන ඇවතක් ඇත.

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විනය පිටකය, පරිවාරපාළි 2 - පිටු අංක 24 - 25)

මෙහි ආපත්ති යනු; ශික්ෂාපදයක් මැඩීමෙන් සිදුවන දෝෂය හෙවත් ඇවත (පාලි සිංහල අකරාදිය -අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත නායක ස්ථවිර), ශාසනික/ විනයානුකූල වරද (දෙමටපිටිය පාලි - සිංහල - ඉග්‍රීසි ශබ්දකෝෂය)

මෙම වාක්‍යයෙහි අර්ථය නම් යමෙක් කුසලයක් වන්නේ යැයි සිත් ඇති ව කරන ඇවතක්/වරදක් ඇත. යමෙක් අකුසලයක් වන්නේ යැයි සිත් ඇති ව කරන ඇවතක් ඇත. යමෙක් කුසල් හෝ අකුසල් නොවන අව්‍යාකෘත වන්නේ යැයි සිත් ඇති ව කරන ඇවතක් ඇත.

මෙහි කිසිම අයුරකින් කුසල් වන ඇවතක් ඇති යැයි සඳහන් නොවෙයි. තමන් කුසල් යැයි සිතූ පමණින් අකුසල් කුසල් විය හැකිද? කුසල්, කුසල් යැයි සිතුවත් නැතත් කුසල් ම වෙයි, අකුසල් කුසල් යැයි සිතුවත් අකුසල් ම වන්නේය.

වැරැද්ද කුසලයක් වන්නේ යැයි කිව හැකි ද? තමන් මොන සිතින් කළත් කුසලයට හේතුව කුසල මූල වෙයි. කුසල මූල තුනකි එනම් අලෝභ, අද්වේශ සහ අමෝහ මූලයන් වෙයි.

දැන දැන ඇවතක් කළ විට අකුසල් ම වන්නේය.

එසේ ම විනය පිටකයේ චුල්ලවග්ගපාළියෙහි කිසිම සිල් පදයක් බිඳීම කුසල් නොවන බව පැහැදිලි ව සඳහන් වී ඇති විට පවා මෙවැනි වරදවා ගැනීම් කර බෞද්ධයන් ව මුලා කිරීම සුදුසු නොවෙයි.

එසේ නම් පැවිද්දන්ට මිල මුදල් භාවිතය සීලය බිඳීමක් ම, අකුසල් ම වනු ඇත. අකුසලය දුගතිය ට මිස කිසි විටෙක සුගතියට හේතු නොවෙයි.

දුසිල්වත් භික්ෂුවක් ව හිඳ ගිහියන්ගෙන් වැඳුම් පිදුම් ඉවසීම, ගිහියන් ශ්‍රද්ධාවෙන් පූජා කළ විහාරවල වැඩ වාසය කිරීම, ගරු බුහුමන් ඉවසීම, සිවුරු පිළිගැනීම, ඇඳ පුටු භාවිතය නිරයගාමී වීම පිණිස පවතියි

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 4, අග්ගික්ඛන්ධොපම සූත්‍රය - පිටු අංක 464 - 475)

ඔබත් පවිටු දුසිල්වත් භික්ෂුවක් නම් බුද්ධාන්තරයක් අපායේ දුක් විඳීමට එය හේතු විය හැකිය

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා‚ සංයුක්ත නිකාය 2, භික්ඛු සූත්‍රය - පිටු අංක 400 - 401)

උපාසක උපාසිකාවන්ට ද භික්ෂු භික්ෂුණීන් අකැප බව දැන ගත් පසු රන් රිදී මිල මුදල් පූජා කිරීම ද අකුසල් ම වෙන්නේය.

සරල ව ම සිතා බලන්න කාගේ හරි සිල් බිඳීම කුසලයක් විය හැකි ද?

යමෙකුත් අකැප පරිභෝග ද්‍රව්‍යයන්ගෙන් සිල්වතුන් කෙරෙහි දන් දේද ඔහුට පින් නොවැඩෙයි.ඔහු ඒ දාන‍ය ද අකුසල සිතින් දෙයි.

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, පෙටකෝපදේසෝ, පිටු අංක 300 – 301-- අංක 08)

එසේ ම මේ ශාසනයේ පැවිද්දන්ට අකැප දේ පිළිබඳ ව බුදු රජාණන් වහන්සේ විසින් දීඝ නිකායේ සීලක්ඛන්ධයේ දිගින් දිගට ම සඳහන් කර ඇත. කිහිපයක් පමණක් සඳහන් කරමු.

රන් රිදී, මිල මුදල්, දැසි දස්සන්, ස්ත්‍රීන් කුමාරිකාවන්, අමු මස්, අමු ධාන්‍ය, සතුන් (කුකුලන්, ඌරන්, එළුවන් ආදී)

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, දීඝ නිකාය 2, සාමඤ්ඤඵල සූත්‍රය, චූල සීල කොටස - පිටු අංක 112 - 113)

එසේ නම් භික්ෂු භික්ෂූණීට අකැප බව දැනගෙන රන් රිදී මිල මුදල් දීම අකුසල් ම වන්නේය. අකුසලය කිසි ටිටෙකත් සුගතියට නොපමුණුවයි, දුගතියට ම හේතු වන්නේය.

ඔබ බුද්ධ ශාසනයේ දිගු කල් පැවැත්ම අපේක්ෂා කරන සැදැහැති සිල්වත් උපාසකයෙක් හෝ උපාසිකාවක් නම්, නොදැනුවත් ව හෝ ඔබ අතින් භික්ෂු භික්ෂුණීන්ගේ සිල් පද කඩ කිරීමට යම් කිසි උපකාරයක් කර ඇත්නම්, නැවත රන් රිදී, මිල මුදල් නොදීමට හික්මී ආයති සංවරයේ පිහිටන්න. එය ඔබට අභිවෘද්ධියක් ම වනු ඇත.

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරා සියලු දෙවි මිනිසුන් දුකින් මුදවාලනු පිණිස සම්මා සම්බුද්ධත්වයට පත් බුදු රජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ද දිගු කල් පවතිනු ඇත. එය ඔබට මහත් වූ කුසලයක් ම වනු ඇත. ඔබ සරණ ගිය සංඝ රත්නය ද මෙලොව හෝ පරලොව දුකට පත් නොවනු ඇත.

එසේම ඔබ තුනුරුවන් සරණ ගිය උපාසකයෙක් හෝ උපාසිකාවක් නම් සංඝරත්නයට සිවුපසයෙන් (කෑම බීම, සිව්රු පිරිකර, ඉඳුම් හිටුම්, ගිලන් පස බෙහෙත් සහ සෙසු කැප පිරිකර ආදියෙන්) සංග්‍රහ කිරීම ඔබට මහත් කුසලයක් ද වනු ඇත. එය ඔබගේ සාමීචිප්‍රතිපදාව (නිවැරදි මග) ද වෙයි.

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 2, ගිහි සාමීචිපටිපදා සූත්‍රය - පිටු අංක 122 - 123)

ඔබත් වැනසී, සංඝ රත්නයත් වනසා දමා, බුද්ධ ශාසනය ද වනසා, භික්ෂු භික්ෂූණී උපාසක උපාසිකා යන සිව් පිරිස ම දුගතියට යවනවා ද?

ඔබත් රැකී, සංඝ රත්නයත් රැක, බුද්ධ ශාසනය ද රැක භික්ෂු භික්ෂූණී උපාසක උපාසිකා යන සිව් පිරිස ම සුගතියට හෝ නිවනට යෑම පිණිස කටයුතු සළස්වනවා ද?

සර්වඥ (සියල්ල දන්නා) බුදු රජාණන් වහන්සේ සද්ධර්මය දේශනා කළේ සියලු දුක ප්‍රහාණයට වෙයි. ඒ සඳහා දුක දුකක් ලෙස අවබෝධ කළ යුතු වන්නේය. එනම් පංචඋපාදානස්කන්ධය (ලෝකය) දුකක් ලෙස අවබෝධ වූ විට දුක කෙරෙහි කළකිරී නොඇලී දුකෙන් මිදෙනු ඇත. එනම් සද්ධර්මය ඇත්තේ දුක දුකක් ලෙස දැක දුක කෙරෙහි කළකිරී නොඇලී දුකෙන් මිදීමට වෙයි.

එහෙත් මිල මුදල් ඇත්තේ ලෝකයේ දේ ලබා ගැනීම හෝ එකතු කිරීම එනම් දුක රැස් කිරීමට නොවේද? එසේ නම් සෘජු ව නිවන් මගෙහි හික්මිය යුතු භික්ෂු භික්ෂුණීන්ට මුදල් පරිහරණය කැප වන්නේද?

ඔබ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවක් හෝ තුනුරුවන් සරණ නොගිය කෙනෙකු වුවත් මෙසේ හික්මෙන්න. ඔබගේ රාග, ද්වේශ සහ මෝහය වැඩි නිසා මෙහි (භික්ෂු භික්ෂුණියක් නම් රන් රිදී මිල මුදල් පිළිගැනීමෙහි හෝ උපාසක උපාසිකාවක් නම් පැවිද්දන්ට පූජා කිරීමෙහි) හික්මීමට අපහසු විය හැකිය. එය අකුසල් වන්නේය.

එහෙත් එය සාධාරනීය කිරීමට බොරු ගොතා හෝ ත්‍රිපිටකයේ නොවන වරදවා ගත් දහම් ඇති එක් එක් පොත් වල ඇති දේ උපුටා ගනිමින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අපේ දුක නැති කිරීම පිණිස සද්ධර්මය ලොවට හෙළි කළ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ත්‍රිපිටක වචනයට (සද්ධර්මයට) ගැරහීම බොහෝ අකුසල් වනු නොඅනුමානය. එබැවින් කේන්තිය නිසා හෝ ලජ්ජාව නිසා එවැනි මෝඩ ක්‍රියා නොකිරීම මෙලොව පරලොව දෙකට ම යහපත් වනු ඇත.

වරද වරද ලෙස දැක ආයතිං සංවරයේ (නැවත නොකිරීමට) හික්මීමට නොහැකි නම් අවම වශයෙන් වරද වරද ලෙස දකින්න තරම් වත් නිහතමානී වීම යහපත් නොවේද?

නුවණින් විමසා බලා තීරණය කිරීම ඔබ සතුය.


බාගත ​කිරීමට