එකල බුදු නෙතින් මෙකල බුදු සසුන වැනසෙන හේතු දැක
ඒවා දුරු කිරීම පිණිස අවවාද කළ සේක
චතුත්ථඅනාගතභය සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 3 - පිටු අංක 172 - 175)
“මහණෙනි, අනාගතයේ ඇති විය හැකි බිය පහකි” යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
- අනාගත කාලයෙහි භික්ෂූහු සුන්දර අලංකාර වටිනා සිවුරු හැඳීමට, පෙරවීමට කැමති වී පාංශුකූලිකත්වය (කසල ගොඩින් අහුලා ගත් හෝ මළමිනී ඔතා ඉවත් කරන ලද රෙදි ආදියෙන් මසා ගත් සිවුරු භාවිත කිරීම) අත හරිති.
- ආරණ්‍ය වන පත්ථ (දුර සෙනසුන්, වන ලැහැබ්, ලොමු දැහැ ගන්වන සුලු මිනිසුන්ගේ හැසිරීම් නැති සමාධිමත් නොවූ භික්ෂූන්ට වැසිය නොහැකි සෙනසුන්), ප්‍රාන්ත සෙනසුන් (දුර ඈත සෙනසුන්) ද හැර පියති. ගම්, කුඩා නගර, අග නුවර ආදී තැන්හි එකතු වී වාසය කරති.
- සිවුරු ලබා ගැනීම පිණිස අනේකවිධ නොමනා, නුසුදුසු, නොගැලපෙන සෙවීම් ද කරති.
- මතු කාලයෙහි භික්ෂූහු ප්‍රණීත මිහිරි බොජුන්වලට කැමති වී පිණ්ඩපාතයෙන් යැපීම (පිඬු සිඟා යාමෙන් ආහාර සොයා ගැනීම) අත හරිති. ප්‍රණීත රස සොයමින් ගම්, කුඩා නගර, අග නුවර ආදී තැන්හි හැසිරෙති.
- ප්‍රණීත බොජුන් හේතුවෙන් අනේකවිධ නොමනා, නුසුදුසු, නොගැලපෙන සෙවීම් ද කරති.
- මතු කාලයෙහි භික්ෂූහු සුන්දර, අලංකාර සිත් ඇද ගන්නා සුලු සෙනසුන්වලට (විහාර, පන්සල්, ඇඳ, පුටු, මෙට්ට, කොට්ට ආදියට) කැමති වී රුක්ෂ මූලිකත්වය (ගස් මුල් යට වාසය කිරීම) අත් හරිති. ආරණ්‍ය, වන පත්ථයන්, ප්‍රාන්ත සෙනසුන් අත හරිති.
- සේනාසන හේතුවෙන් ද අනේකවිධ නොමනා, නුසුදුසු, නොගැලපෙන සෙවීම් ද කරති.
- මතු කාලයෙහි භික්ෂූහු, භික්ෂුණීන්, සික්ඛමානාවන්, සාමණේර යන මොවුන් හා මිශ්‍ර ව එකට එකතු වී වාසය කරති. මෙසේ එක් ව වාසය කරන විට අකමැත්තෙන් හෝ බ්‍රහ්මචරියාවේ හැසිරෙති. අන්‍යතර වූ, කිලිටි සහිත වූ ඇවතකට හෝ පැමිණෙති. ශික්ෂාව ප්‍රතික්ෂේප කොට ගිහි බවට හෝ පැමිණෙති. ඔවුන් මේ පිරිහීම්වලට කැමති විය යුතුය.
- මතු කාලයෙහි භික්ෂූහු ආරාමිකයන් හෝ සාමණේරයන් සමඟ එකට එක්ව වාසය කරති. මෙසේ එක් ව වාසය කරන කල්හි අනේක ප්‍රකාර වූ සන්නිධිකාර පරිභෝගයෙහි (ආහාර පාන, සිවුරු, ගිලන්පස, බෙහෙත් පිරිකර ආදිය රැස් කොට තබා ගෙන භාවිත කිරීමෙහි) යෙදෙති. වාසය කරති. පොළොව කැණීමෙහි ද ගස් වැල් සිඳීමෙහි ද (භික්ෂූන්ට පොළොව කෙටීම, කෙටවීම, ගස් වැල් සිඳීම, සිඳ වීම තහනම් වෙයි.) රළු නිමිති පහළ කරති.
බාගත කිරීමට 