Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් /

කරුණු පහකින් යුතු ස්ථවිර භික්ෂුව
බොහෝ දෙවි මිනිසුන්ට හිත සුව පිණිස පවතියි

ථෙර සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 3 - පිටු අංක 182 - 185)

ධර්ම පහකින් යුතු ස්ථවිර (වස් දහයක් හෝ වස් දහයකට වැඩි) මහණ බොහෝ දෙනාට හිත පිණිස, සැප පිණිස, වැඩ පිණිස දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, වැඩ පිණිස පිළිපන්නේ වෙයි.

කවර ධර්ම පහකින් ද යත්;

  1. පැවිදි වී බොහෝ කල් ගෙවා ස්ථවිර භික්ෂුවක් බවට පත් වූයේ වෙයි.
  2. ප්‍රසිද්ධ වූයේ, කීර්තිමත් වූයේ වෙයි. ගිහි පැවිදි බොහෝ දෙනා පිරිවර කොට ඇත්තේ වෙයි.
  3. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර බොහෝ ලබනුයේ ද වෙයි.
  4. මුල, මැද, අග යහපත් වූ ව්‍යංජන සහිත වූ පරිපූර්ණ බ්‍රහ්මචරියාව ප්‍රකාශ කරන එ බඳු ධර්මයෝ බොහෝ කොට අසන ලද්දාහු, දරන ලද්දාහු, වචනයෙන් පුරුදු කරන ලද්දාහු, සිතින් විමසන ලද්දාහු, නුවණින් අවබෝධ කරන ලද්දාහු වෙයි. යහපත් දැක්මෙන් යුතු වෙයි. විපරීත නොවූ දර්ශන ඇත්තේ වෙයි.
  5. ඔහු බොහෝ දෙනා අසද්ධර්මයෙන් බැහැර කර සද්ධර්මයේ පිහිටුවයි.
    ඒ ස්ථවිර භික්ෂුව බොහෝ කල් ගත වූ ස්ථවිර භික්ෂුවක් යැයි කියා බොහෝ දෙනා ඔහුගේ දිට්ඨානුගතියට යති. ඔහුගේ අදහසට කැමති වෙති.
    ඒ ස්ථවිර භික්ෂුව ප්‍රසිද්ධ බොහෝ පිරිවර ඇති බැවින් ඔහුගේ දිට්ඨානුගතියට යති. ඔහුගේ අදහසට කැමති වෙති.
    මේ ස්ථවිර භික්ෂුව චීවර, පිණුඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත්, පිරිකර බොහෝ ලබනු යැයි ඔහුගේ දිට්ඨානුගතියට යති. ඔහුගේ අදහසට කැමති වෙති.
    මේ ස්ථවිර භික්ෂුව බහුශ්‍රැත වූයේ, ඇසූ දේ දරන්නේ, බොහෝ ඇසූ සූත්‍ර රැස් කරගත් බොහෝ දැනුම ඇත්තේ යැයි දැක ඔහුගේ දිට්ඨානුගතියට යති. ඔහුගේ අදහසට කැමති වෙති.

මේ පංච ධර්මයන්ගෙන් සමන්විත ස්ථවිර භික්ෂුව බොහෝ දෙනාට හිත පිණිස, සැප පිණිස, වැඩ පිණිස දෙවි මිනිසුන්ට හිත පිණිස, සැප පිණිස, වැඩ පිණිස පිළිපන්නේ වෙයි.


බාගත ​කිරීමට