Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / උපාසක උපාසිකාවන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

පුතෙක් ගිහි ව සිටී නම් චිත්ත හෝ හත්ථක ආළවක මෙන් ද
පැවිදි වේ නම් සැරියුත් මුගලන් මෙන් ද වීම මැනවි

එකපුත්තසූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුක්ත නිකාය 2 - පිටු අංක 358 - 361)

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලා අමතා මෙසේ වදාළ සේක.

මහණෙනි, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා දරුණුය. කටුකය. නපුරුය. ඉතා උතුම් වූ නිවන් අවබෝධය සාක්ෂාත් කිරීම පිණිස අන්තරායකාරී වෙයි.

මහණෙනි, සැදැහැති උපාසිකාවක් ප්‍රිය මනාප තම එක ම පුතුගෙන් බැගෑපත් ව ඉල්ලන්නේ නම් මෙසේ ඉල්ලිය යුතුය.

“පුතේ නුඹ චිත්ත ගෘහපති හෝ හත්ථක ආළවක වගේ වෙයං”.

මහණෙනි, චිත්ත ගෘහපති සහ හත්ථක ආළවක යන දෙදෙනා මාගේ ශ්‍රාවක උපාසකයන්ගේ මිම්ම වෙයි, ප්‍රමාණය වෙයි.

“පුතේ නුඹ ගිහිගේ අතහැර පැවිදි වේ නම් සැරියුත් මුගලන් තෙරුන් වහන්සේලා වගේ වෙයං” යැයි බැගෑපත් ව ඉල්ලිය යුතුය.

මහණෙනි, සැරියුත් මුගලන් යන දෙදෙනා මාගේ ශ්‍රාවක භික්ෂූන්ගේ මිම්ම වෙයි, ප්‍රමාණය වෙයි.

“නොපැමිණි රහත් බව ඇති, සේඛ වූ නුඹ කරා ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා නොපැමිණේවා”

මහණෙනි, නොපැමිණි රහත් බව ඇති, ඒ සේඛ භික්ෂුව කරා ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා පැමිණේ නම් එය ඔහුට අන්තරායකාරී වෙයි.

මහණෙනි, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා දරුණුය. කටුකය. නපුරුය. ඉතා උතුම් වූ නිවන් අවබෝධය සාක්ෂාත් කිරීම පිණිස අන්තරායකාරී වෙයි.

මහණෙනි, එම නිසා නුඹලා මෙසේ ම හික්මිය යුතුය.

‘උපන් ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන් ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා වලට අපගේ සිත හාත්පසින් මැඩ පැවැත්වීමට ඉඩ නොදෙමු’ යැයි තොප විසින් මෙසේ ම හික්මිය යුතුය.


බාගත ​කිරීමට