එක්තරා උපාසකයෙක් නපුරු පෙනුම ඇති, කළු පැහැති සිරුරක් හා කළු පැහැති දත් ඇති, රතු පැහැති ඇස් ඇති ස්ත්‍රියක් දැක ඇය කවුදැයි විමසුවේය.
ඇය පෙර භවයේ ඔහුගේ බිරිඳ බවත්, පව් කර ප්‍රේත ලෝකයේ ඉපදුණු බවත් පැවසුවාය. මෙසේ ප්‍රේතියක් ව ඉපදීමට කළ පව් ලෙස ඇය පවසා සිටියේ පෙර ආත්මයේ නපුරු වීම, පරුෂ වචන කීම සහ ස්වාමියාට ගෞරව නොකිරීමයි.
පසු ව උපාසකයා ඇයට ඇඳ ගැනීමට උතුරු සළුව දුන්නේය. නමුත් ප්‍රේතිය පැවසුවේ ඇයට එය පිළිගැනීමට නොහැකි බවත්, හැකි නම් සිල්වත් භික්ෂූන්ට ආහාර පාන දී ඒ පින ඇයට අනුමෝදන් කරන ලෙසත්ය.
ඔහු මහා දානයක් පැවැත්වීය. ආහාර පාන ද සිවුරු ද සේනාසන ද කුඩ ද මල් සුවඳ විලවුන් ද වීතරාගී, සිල්වත් භික්ෂූන්ට දන් දී ඒ පින ඇයට අනුමෝදන් කළේය. ඒ සැණින් ම පින ඇයට ලැබිණි. පිරිසිදු සිරුරින් යුතු ව, විසිතුරු වස්ත්‍රයෙන් සැරසුණු ඇය තම පැරණි ස්වාමියා වෙත පැමිණියාය.
තමන් ප්‍රේතියක ව සිටි අයුරුත් උපාසකයා දුන් දානයෙන් ලද පිනෙන් මෙසේ ආනුභාව සම්පන්න දෙව් දුවක් වූ අයුරුත් ඇය පැවසුවාය.