Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / උපාසක උපාසිකාවන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

උපාසකයෙකු සද්ධර්මයෙන් පිරිහීමට හෝ වැඩීමට හේතු

උපාසක අපරිහානීය සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 4 - පිටු අංක 318 - 321)

මේ ධර්ම හත උපාසකයෙකුගේ පිරිහීම පිණිස පවතියි. එනම් උපාසකයා,

  1. සංඝයා දැකීම නොකරයි.
  2. සද්ධර්මය ඇසීම පමා කරයි.
  3. අධිශීලයේ නොහික්මෙයි.
  4. නවක, මධ්‍යම හා ස්ථවිර භික්ෂූන් කෙරෙහි අප්‍රසාද බහුල ව සිටියි.
  5. වැරදි, අඩු පාඩු, සිදුරු හා දොස් සොයන සිතින් ධර්මය අසයි.
  6. මේ බුදු සසුනෙන් බැහැර, අන්‍ය සසුන්හි ද දන් දීමට සුදුස්සන් සොයයි.
  7. මේ බුදු සසුනෙන් බැහැර අන්‍ය සසුන්හි අයට පළමු ව ඇප උපස්ථාන කරයි.

එසේ ම මේ ධර්ම හත උපාසකයෙකුගේ නොපිරිහීම පිණිස පවතියි. එනම් උපාසකයා,

  1. සංඝයා දැකීම කරයි.
  2. සද්ධර්මය ඇසීමට පමා නොවෙයි.
  3. අධිශීලයේ හික්මෙයි.
  4. නවක, මධ්‍යම හා ස්ථවිර භික්ෂූන් කෙරෙහි ප්‍රසාද බහුල ව සිටියි.
  5. වැරදි, අඩු පාඩු, සිදුරු හා දොස් නොසොයන සිතින් ධර්මය අසයි.
  6. මේ බුදු සසුනෙන් බැහැර, අන්‍ය සසුන්හි දන් දීමට සුදුස්සන් නොසොයයි.
  7. මේ බුදු සසුනෙන් බැහැර අන්‍ය සසුන්හි අයට පළමු ව ඇප උපස්ථාන නොකරයි.

යම් උපාසකයෙක් සිත දියුණු කළ භික්ෂූන් ගේ දැකීම නොකර හරියි ද, සද්ධර්ම ශ්‍රවණය පමා කරයි ද, අධිශීලයේ නොහික්මේ ද, සංඝයා කෙරෙයි අප්‍රසාදය වැඩි වැඩියෙන් වඩා ද, දොස් සොයන සිතින් සද්ධර්මය අසා ද, මේ සසුනෙන් බැහැර දන් දිය යුත්තන් සොයා ද, ඔවුන්ට මුලින් උපකාර කරයි ද මේ උපාසකයා සද්ධර්මයෙන් පිරිහෙයි.

යම් උපාසකයෙක් සිත දියුණු කළ භික්ෂූන් ගේ දැකීමෙහි පමා නොවෙයි ද, සද්ධර්ම ශ්‍රවණය පමා නොකරයි ද, අධිශීලයේ හික්මේ ද, සංඝයා කෙරෙහි ප්‍රසාදය වැඩි වැඩියෙන් වඩා ද, දොස් සොයන සිතින් සද්ධර්මය නොඅසා ද, මේ සසුනෙන් බැහැර දන් දිය යුත්තන් නොසොයා ද, මෙසස්නෙහි ශ්‍රාවකයන්ට ම මුලින් උපකාර කරයි ද මේ උපාසකයා සද්ධර්මයෙන් නොපිරිහෙයි.


බාගත ​කිරීමට