Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / උපාසක උපාසිකාවන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

ගින්නෙන් ජලයෙන් විනාශ නොවන
රජයට සොරුන්ට සහ අකමැති අයට ගත නොහැකි
වටිනා ම ධන සම්පත

උග්ගමහාමත්ත සූත්‍රය සහ විත්ථතධන සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 4 - පිටු අංක 284 - 289)

දිනෙක උග්ග මහ ඇමති බුදු රජාණන් වහන්සේට වැඳ එකත් පස් ව හිඳ මෙසේ කීවේය.

“භාග්‍යවතුන් වහන්ස, විස්මය ජනකයි. පුදුමයි. මේ මිගාර සිටුතුමා මහා ධන ඇත්තෙක් ම, මහා භෝග ඇත්තෙක් ම වෙයි. ඒ කෙසේ ද යත්, අමු රනින් ම ලක්ෂයක් ඇත. රිදී ගැන කවර කතා ද?”

“උග්ගයෙනි, ඒ ධනය තියෙනවා තමයි. මා එය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් ඒ ධනය ගින්නෙන් විනාශ වෙන්න පුළුවන්. ජලයෙන් විනාශ වෙන්න පුළුවන. රජුන් ගන්න පුළුවන්. සොරුන් ගන්න පුළුවන්. අප්‍රිය උරුමක්කාරයන් (අකමැති දූ දරුවන්) ගන්න පුළුවන්. මේ ධනය සැමට සාධාරණ වෙයි.

උග්ගයෙනි, ගින්න, ජලය, රජුන්, සොරුන් හා අප්‍රිය උරුමක්කාරයන්ට, අසාධාරණ වූ කිසිවෙකුට ගත නොහැකි මේ ධන සතකි.

කවර සතක් ද යත්,

  1. ශ්‍රද්ධා ධනය
  2. සීල ධනය
  3. හිරි ධනය
  4. ඔත්තප්ප ධනය
  5. සුත ධනය
  6. චාග ධනය
  7. ප්‍රඥා ධනය
  1. ශ්‍රද්ධා ධනය
    මේ සසුනෙහි ආර්ය ශ්‍රාවකයා සැදැහැවත් වෙයි. ඒ කෙසේ ද යත් ‘තමා විසින් ම චතුරාර්ය සත්‍යය අවබෝධ කර නිවන් සාක්ෂාත් කළ භාග්‍යවතුන් වහන්සේ අරහත් වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසධම්ම සාරථී වන සේක. සත්ථාදේවමනුස්සානං වන සේක. බුද්ධෝ වන සේක. භාග්‍යවත් වන සේක’ යි එසේ භාග්‍යවතුන් වහන්සේගේ සම්බෝධිය අදහයි. මේ ශ්‍රද්ධා ධනය වෙයි.
  2. සීල ධනය
    මේ සසුනෙහි ආර්ය ශ්‍රාවකයා සතුන් මැරීමෙන් වැළකී, සොරකම් කිරීමෙන් වැළකී, කාමය වරදවා හැසිරීමෙන් වැළකී, බොරු කීමෙන් වැළකී, සුරාමේරය පානයෙන් වැළකී වෙසෙයි. මේ සීල ධනය වෙයි.
  3. හිරි ධනය
    මේ සසුනෙහි ආර්ය ශ්‍රාවකයා කයෙන්, වචනයෙන් හා සිතින් සිදු වන දුශ්චරිතයන්ගෙන් ලජ්ජාවට පත්වෙයි. පාපකාරී අකුසල්වලට ලජ්ජා වෙයි. මේ හිරි ධනය වෙයි.
  4. ඔත්තප්ප ධනය
    මේ සසුනෙහි ආර්ය ශ්‍රාවකයා කයෙන්, වචනයෙන් හා සිතින් සිදු වන දුශ්චරිතයන්ට ඉතාමත් බිය වෙයි, පාපකාරී අකුසල්වලට ඉතාමත් බිය වෙයි. මේ ඔත්තප්ප ධනය වෙයි.
  5. සුත ධනය
    මේ සසුනෙහි ආර්ය ශ්‍රාවකයා බහුශ්‍රැත වෙයි. මුල, මැද, අග යහපත් වූ පරිපූර්ණ බ්‍රහ්මචරියාව හොඳින් අසන ලද්දේ වෙයි. ඇසූ දේ දරන ලද්දේ වෙයි. මනසින් විමසන ලද්දේ වෙයි. සම්මා දිට්ඨිය මනා සේ අවබෝධ කරන ලද්දේ වෙයි. මේ සුත ධනය වෙයි.
  6. චාග ධනය
    මේ සසුනෙහි ආර්ය ශ්‍රාවකයා මසුරුකම හා අකුසල් දුරු කර, පරිත්‍යාගශීලී ව, දීමට යොමු කළ අත් ඇති ව, දීමෙහි ඇලුණේ වෙයි. මේ චාග ධනය වෙයි.
  7. ප්‍රඥා ධනය
    මේ සසුනෙහි ආර්ය ශ්‍රාවකයා මැනවින් දුක් ගෙවීමට හා තියුණු අවබෝධයට පවතින උදය වය ඥානයෙන් යුතු වෙයි. මේ ප්‍රඥා ධනය වෙයි.

යම් ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට ඉහත ධන සත ඇත්නම් ඇය හෝ ඔහු පොහොසත් යැයි, ජීවිතය හිස් නොවේ යැයි කියනු ලැබෙයි. ඒ නිසා ප්‍රඥාවන්තයෝ මෙසේ බුද්ධ ශාසනයේ පුන පුනා යෙදෙති”.


බාගත ​කිරීමට