Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණීන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

ගිහියන්ට අලාභ කරන්නා වූ හෝ අපහාස කරන්නා වූ හෝ
තුනුරුවන්හි නුගුණ කියන භික්ෂුවට
සංඝයාට කැමති නම් දඬුවම් කළ හැකිය

පටිසාරණීය කර්මය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විනය පිටකය, චුල්ලවග්ගපාළි 1 - පිටු අංක 64 - 87)

පටිසාරණීය කර්මය කවුරුන් විසින් කා හට කළ යුතු ද යත්;

නොබෙදුණු සමගි සංඝයා විසින් ගිහියන්ට අලාභ කරන, ආක්‍රෝශ කරන සහ මෙවැනි වෙනත් නොපනත්කම් කරන භික්ෂුවකට සංඝයා කැමති නම් කළ යුතු වෙයි.

කුමන වැරදි සඳහා පටිසාරණීය කර්මය කරන්නේ ද යත්;

  • යම් භික්ෂුවක්
    1. ගිහියන්ට අලාභය පිණිස උත්සාහ කරයි ද,
    2. ගිහියන්ට අයහපත පිණිස උත්සාහ කරයි ද,
    3. ගිහියන්ගේ නොවිසීම පිණිස (වාසය කරන තැනින් ඉවත්කිරීමට) උත්සාහ කරයි ද,
    4. ගිහියන්ට අපහාස කරයි ද, නින්දා කරයි ද,
    5. ගිහියන් ගිහියන් හා බිඳුවයි ද,

    මේ කරුණු පසෙන් යුතු භික්ෂුවට සංඝයා කැමති නම් පටිසාරණීය කර්මය කළ හැකි වෙයි.

  • යම් භික්ෂුවක්
    1. ගිහියන්ට බුදුන්ගේ අගුණ කියයි ද,
    2. ගිහියන්ට දහම්හි අගුණ කියයි ද,
    3. ගිහියන්ට සංඝයාගේ අගුණ කියයි ද,
    4. ගිහියන්ට පහත් වචනයෙන් ආක්‍රෝෂ කරයි ද, ගිහියන්ට පහත් ලෙස අවමන් කරයි ද,
    5. ගිහියන්ට දුන් ධාර්මික ප්‍රතිඥාව කඩ කරයි ද,

    මේ කරුණු පසෙන් යුතු භික්ෂුවට සංඝයා කැමති නම් පටිසාරණීය කර්මය කළ හැකි වෙයි.

  • එසේ ම ඉහත වැරදි එකක් හෝ ඇති භික්ෂුවකට සංඝයා කැමති නම් පටිසාරණීය කර්මය කළ හැකි වෙයි.

පටිසාරණීය කර්මයට ලක්වූ භික්ෂුව කෙසේ වාසය කළ යුතු ද යත්;

ගිහියන්ට අලාභය, අයහපත, නින්දා, අපහාස, ගිහියන් හා බිඳුවීම නිසා පටිසාරණීය කර්මයට ලක් වූ ඒ භික්ෂුව විසින් පටිසාරණීය වත අනුව වාසය කළ යුතුය.

එසේ ම තමා විසින් අලාභ හානි කළ ඒ ගිහියන් වෙත ගොස් සමාව ඉල්ලා ගැනීම ද කළ යුතු වෙයි.

පටිසාරණීය වත

පටිසාරණීය කර්මයට ලක්වූ භික්ෂුව විසින්,

තමන් උපාධ්‍යයා වශයෙන් සිට උපසම්පදා නොකළ යුතුය.

නිස නොදිය යුතුය.

සාමණේරයකු ලවා උපස්ථාන නොකරවා ගත යුතුය.

මෙහෙණන්ට අවවාද දීමේ සම්මුතිය නොඉවසිය යුතුය.

මෙහෙණන්ට අවවාද දීමේ සම්මුතිය ලැබුව ද අවවාද නොදිය යුතුය.

යම් ඇවැතකට සංඝයා විසින් පටිසාරණීය කර්මය කරන ලත් ද ඒ ඇවැතට හෝ එවන් ඇවැතකට නැවත පත් නොවිය යුතුය.

එයටත් වඩා ලාමක ඇවැතකට ද පත් නොවිය යුතුය.

තමන්ට කළ පටිසාරණීය කර්මයට නොගැරහිය යුතුය.

පටිසාරණීය කර්මය කළ සංඝයාට නොගැරහිය යුතුය.

ප්‍රකෘති භික්ෂුවකගේ පොහොය තැබීම නොකළ යුතුය.

ප්‍රකෘති භික්ෂුවකගේ පවාරණය තැබීම නොකළ යුතුය.

ප්‍රකෘති භික්ෂුවකට සවචනීය කර්ම නොකළ යුතුය.

ප්‍රකෘති භික්ෂුවකට දෝෂාරෝපණය නොකළ යුතුය.

ප්‍රකෘති භික්ෂුවකට චෝදනා කිරීමට අවසර ඉල්ලීම පවා නොකළ යුතුය.

ප්‍රකෘති භික්ෂුවකට චෝදනා නොකළ යුතුය.

ප්‍රකෘති භික්ෂුවකගේ ඇවැත් සිහි නොකළ යුතුය.

භික්ෂූන් සමග එකට එකතු වී නොසිටිය යුතුය.

ගිහියන් වෙත ගොස් සමාව ඉල්ලා ගැනීම කෙසේ කළ යුතු ද යත්;

ඒ ගිහියන් වෙත ගොස් සමාව ඉල්ලා ගැනීම ද කළ යුතු වෙයි. සමාව ඉල්ලීමට තරම් සිතේ ශක්තියක් නැත්නම් හෝ අවශ්‍ය නම් අනුදූතයෙකු සංඝයාගෙන් ඉල්ලා ගත යුතුය.

ඒ අනුදූත මහණ සමග පටිසාරණීය කර්මයට ලක් වූ භික්ෂුව, තමන් වරද කරන ලද ඒ ගිහියා වෙත ගොස් ‘කළ වරදට සමා වෙන්න’ යැයි කිව යුතු වෙයි. සමාව දුන්නේ නම් යහපත් ය.

සමාව නොදුන්නේ නම්, අනුදූත මහණ විසින් ‘මේ භික්ෂුවට සමාව දෙන්න’ යැයි කිව යුතු වෙයි. සමාව දුන්නේ නම් යහපත් ය.

සමාව නොදුන්නේ නම්, අනුදූත මහණ විසින් මේ ‘භික්ෂුවට සංඝයාගේ වචනයෙන් සමාව දෙන්න’ යැයි කිව යුතු වෙයි. සමාව දුන්නේ නම් යහපත් ය.

සමාව නොදුන්නේ නම්, අනුදූත මහණ විසින් මේ භික්ෂුව ඒ ගිහියන්ට පෙනෙන තෙක් මානය නොඉක්මවා, ඇසෙන තෙක් මානය නොඉක්මවා ඇති තැනක සිට උත්තරාසඩ්ගය ඒකාංශ කොට උත්කුටියෙන් හිඳුවා දොහොත් මුදුන් කර ඒ ඇවත දෙසිය යුතු වෙයි.

පටිසාරණීය කර්මය සංසිඳුවන්නේ කෙසේ ද යත්;

තමා වරද කළ ඒ ගිහියන් කමා කරවා ගෙන සහ පටිසාරණීය වත අනුව මනා ව හික්මී වාසය කර, සංඝයා අයැද පටිසාරණීය කර්මය සන්සිඳුවා ගත යුතු වෙයි.


බාගත ​කිරීමට