Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණීන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

යමෙක් හෝ යමක් ඇසුරු කිරීම හේතුවෙන් කුසල් වැඩෙයි නම්
ඇසුරු කළ යුතුය අකුසල් වැඩෙයි නම් ඇසුරු නොකළ යුතුය

සෙවිතබ්බාසෙවිතබ්බ සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 5 - පිටු අංක 390 - 395)
  1. ඇසුරු කළ යුතු පුද්ගලයා ද ඇසුරු නොකළ යුතු පුද්ගලයා ද වශයෙන් පුද්ගලයින් දෙපරිද්දෙන් දත යුතුය.
  2. පරිභෝග කළ යුතු චීවරය ද පරිභෝග නොකළ යුතු චීවරය ද වශයෙන් චීවරය ද දෙපරිද්දෙන් දත යුතුය.
  3. පරිභෝග කළ යුතු පිණ්ඩපාතය ද පරිභෝග නොකළ යුතු පිණ්ඩපාතය ද වශයෙන් පිණ්ඩපාතය ද දෙපරිද්දෙන් දත යුතුය.
  4. පරිභෝග කළ යුතු සෙනසුන් ද පරිභෝග නොකළ යුතු සෙනසුන් ද වශයෙන් සෙනසුන් ද දෙපරිද්දෙන් දත යුතුය.
  5. සෙවිය යුතු ගම් නියම් ගම් ද නොසෙවිය යුතු ගම් නියම් ගම් ද වශයෙන් ගම් නියම් ගම් ද දෙපරිද්දෙන් දත යුතුය.
  6. සෙවිය යුතු ජනපද ද නොසෙවිය යුතු ජනපද ද වශයෙන් ජනපද ද දෙපරිද්දෙන් දත යුතුය.
  1. ඇසුරු කළ යුතු පුද්ගලයා ද ඇසුරු නොකළ යුතු පුද්ගලයා ද වශයෙන් පුද්ගලයින් දෙපරිද්දෙන් දත යුතු යැයි යමක් කියන ලද නම් එය කුමක් සඳහා කියන ලද ද යත්;
    • යම් පුද්ගලයෙක් ඇසුරු කරන විට අකුසල් දහම් වැඩෙත් නම්, කුසල් දහම් පිරිහෙත් නම්, පැවිද්දන්ට ජීවත් වීම පිණිස වූ සිව්පසය දුක සේ ම උපදිත් නම්, ගිහි ගෙය අතහැර පැවිද්දට පැමිණි ඒ ශ්‍රමණ අර්ථය භාවනාවෙන් පරිපූර්ණ නොවන බැව් දන්නේ නම්, රාත්‍රියක හෝ වේවා, දහවල් හෝ වේවා නොකියා ම යා යුතුය. ඔහු පසු පස නොයා යුතුය.
    • යම් පුද්ගලයෙක් ඇසුරු කරන විට අකුසල් දහම් වැඩෙත් නම්, කුසල් දහම් පිරිහෙත් නම්, පැවිද්දන්ට ජීවත් වීම පිණිස වූ සිව්පසය සුව සේ ම උපදිත් නම්, ගිහිගෙය අතහැර පැවිද්දට පැමිණි ඒ ශ්‍රමණ අර්ථය භාවනාවෙන් පරිපූර්ණ නොවන බැව් දන්නේ නම්, ඒ පුද්ගලයා නොවිමසා බැහැර යා යුතුය. පසු පස නොයා යුතුය.
    • යම් පුද්ගලයෙක් ඇසුරු කරන විට අකුසල් දහම් පිරිහෙත් නම්, කුසල් දහම් වැඩෙත් නම්, පැවිද්දන්ට ජීවත් වීම පිණිස වූ සිව්පසය දුක සේ ම උපදිත් නම්, ගිහිගෙය අතහැර පැවිද්දට පැමිණි ඒ ශ්‍රමණ අර්ථය භාවනාවෙන් පරිපූර්ණ වන බැව් දන්නේ නම්, ඔහු පසු පස ම යා යුතුය. අත් නොහැරිය යුතුය.
    • යම් පුද්ගලයෙක් ඇසුරු කරන විට අකුසල් දහම් පිරිහෙත් නම්, කුසල් දහම් වැඩෙත් නම්, පැවිද්දන්ට ජීවත් වීම පිණිස වූ සිව්පසය සුව සේ ම උපදිත් නම්, ගිහිගෙය අතහැර පැවිද්දට පැමිණි ඒ ශ්‍රමණ අර්ථය භාවනාවෙන් පරිපූර්ණ වන බැව් දන්නේ නම්, ඔහු පසු පස දිවිහිමියෙන් යා යුතුය. ඔහු එළවා දමන නමුත් බැහැර නොයා යුතුය.

    ඇසුරු කළ යුතු පුද්ගලයා සහ ඇසුරු නොකළ යුතු පුද්ගලයා වශයෙන් පුද්ගලයින් ද දෙපරිද්දෙන් දත යුතු යැයි මේ සඳහා ම කියන ලදි.

  2. පරිභෝග කළ යුතු චීවරය ද පරිභෝග නොකළ යුතු චීවරය ද වශයෙන් චීවරය ද දෙපරිද්දෙන් දත යුතු යැයි යමක් කියන ලද නම් එය කුමක් සඳහා කියන ලද ද යත්;
    • යම් චීවරයක් පරිභෝග කරන විට කුසල් දහම් පිරිහෙයි නම්, අකුසල් දහම් වැඩෙයි නම්, ඒ චීවරය පරිභෝග නොකළ යුතුය.
    • යම් චීවරයක් පරිභෝග කරන විට අකුසල් දහම් පිරිහෙයි නම්, කුසල් දහම් වැඩෙයි නම්, ඒ චීවරය පරිභෝග කළ යුතුය.

    පරිභෝග කළ යුතු චීවරය ද පරිභෝග නොකළ යුතු චීවරය ද වශයෙන් චීවරය ද දෙපරිද්දෙන් දත යුතු යැයි යමක් පවසන ලද්දේ නම් මේ සඳහා ම පවසන ලදි.

  3. පරිභෝග කළ යුතු පිණ්ඩපාතය ද පරිභෝග නොකළ යුතු පිණ්ඩපාතය ද වශයෙන් පිණ්ඩපාතය ද දෙපරිද්දෙන් දත යුතු යැයි යමක් කියන ලද නම් එය කුමක් සඳහා කියන ලද ද යත්;
    • යම් පිණ්ඩපාතයක් පරිභෝග කරන විට, කුසල් දහම් පිරිහෙයි නම්, අකුසල් දහම් වැඩෙයි නම්, ඒ පිණ්ඩපාතය පරිභෝග නොකළ යුතුය.
    • යම් පිණ්ඩපාතයක් පරිභෝග කරන විට අකුසල් දහම් පිරිහෙයි නම්, කුසල් දහම් වැඩෙයි නම්, ඒ පිණ්ඩපාතය පරිභෝග කළ යුතුය.

    පරිභෝග කළ යුතු පිණ්ඩපාතය සහ පරිභෝග නොකළ යුතු පිණ්ඩපාතය වශයෙන් පිණ්ඩපාතය ද දෙපරිද්දෙන් දත යුතු යැයි යමක් පවසන ලද්දේ නම් මේ සඳහා ම පවසන ලදි.

  4. පරිභෝග කළ යුතු සෙනසුන් ද පරිභෝග නොකළ යුතු සෙනසුන් ද වශයෙන් සෙනසුන් ද දෙපරිද්දෙන් දත යුතු යැයි යමක් කියන ලද නම් එය කුමක් සඳහා කියන ලද ද යත්;
    • යම් සේනාසනයක් සේවනය කරන විට අකුසල් දහම් වැඩෙයි නම්, කුසල් දහම් පිරිහෙයි නම්, ඒ සේනාසනය සේවනය නොකළ යුතුය.
    • යම් සේනාසනයක් සේවනය කරන විට අකුසල් දහම් පිරිහෙයි නම්, කුසල් දහම් වැඩෙයි නම්, ඒ සේනාසනය සේවනය කළ යුතුය.

    සේවනය කළ යුතු සේනාසනය සහ සේවනය නොකළ යුතු සේනාසනය වශයෙන් සේනාසනය ද දෙපරිද්දෙන් දත යුතු යැයි යමක් පවසන ලද්දේ නම් මේ සඳහා ම පවසන ලදි.

  5. සෙවිය යුතු ගම් නියම් ගම් ද නොසෙවිය යුතු ගම් නියම් ගම් ද වශයෙන් ගම් නියම් ගම් ද දෙපරිද්දෙන් දත යුතු යැයි යමක් කියන ලද නම් එය කුමක් සඳහා කියන ලද ද යත්;
    • යම් ගම් නියම් ගමක් සේවනය කරන විට අකුසල් දහම් වැඩෙයි නම්, කුසල් දහම් පිරිහෙයි නම් ඒ ගම් නියම් ගම සේවනය නොකළ යුතුය.
    • යම් ගම් නියම් ගමක් සේවනය කරන විට අකුසල් දහම් පිරිහෙයි නම්, කුසල් දහම් වැඩෙයි නම්, ඒ ගම් නියම් ගම සේවනය කළ යුතුය.

    සේවනය කළ යුතු ගම් නියම් ගම් සහ සේවනය නොකළ යුතු ගම් නියම් ගම් වශයෙන් ගම් නියම් ගම් ද දෙපරිද්දෙන් දත යුතු යැයි යමක් පවසන ලද්දේ නම් මේ සඳහා ම පවසන ලදි.

  6. සෙවිය යුතු ජනපද ද නොසෙවිය යුතු ජනපද ද වශයෙන් ජනපද ද දෙපරිද්දෙන් දත යුතු යැයි යමක් කියන ලද නම් එය කුමක් සඳහා කියන ලද ද යත්;
    • යම් ජනපදයක් සේවනය කරන විට අකුසල් දහම් වැඩෙයි නම්, කුසල් දහම් පිරිහෙයි නම්, ඒ ජනපදය සේවනය නොකළ යුතුය.
    • යම් ජනපදයක් සේවනය කරන විට අකුසල් දහම් පිරිහෙයි නම්, කුසල් දහම් වැඩෙයි නම්, ඒ ජනපදය සේවනය කළ යුතුය.

    සේවනය කළ යුතු ජනපදය සහ සේවනය නොකළ යුතු ජනපදය වශයෙන් ජනපදය ද දෙපරිද්දෙන් දත යුතු යැයි යමක් පවසන ලද්දේ නම් මේ සඳහා ම පවසන ලදි.


බාගත ​කිරීමට