මෙලොව පුද්ගලයන් තිදෙනෙක් දක්නට ලැබෙයි.
කවර තිදෙනෙක් ද යත්;
මෙලොව ඇතැම් පුද්ගලයෙක් සීලයෙන්, සමාධියෙන් හා ප්‍රඥාවෙන් තමාට වඩා පහත් වේ ද නීච වේ ද මෙබඳු පුද්ගලයා කරුණාවෙන් මිස අනුකම්පාවෙන් මිස සේවනය නොකළ යුතුය. ඇසුරු නොකළ යුතුය. පයිරුපාසන නොකළ යුතුය.
මෙලොව ඇතැම් පුද්ගලයෙක් සීලයෙන්, සමාධියෙන් හා ප්‍රඥාවෙන් තමන් හා සමාන වේ ද මෙබඳු පුද්ගලයා සේවනය කළ යුතුය. ඇසුරු කළ යුතුය. පයිරුපාසන කළ යුතුය.
ඊට හේතු කවරේ ද යත්;
සීලයෙන් සමාන භාවයට ගියා වූ අප අතර සීල කථාවක් ද වෙයි. අපගේ සීල කථාව පවතින්නක් ද වෙයි. අපගේ සීල කථාව අපට පහසු ද වෙයි.
සමාධියෙන් සමාන භාවයට ගියා වූ අප අතර සමාධි කථාවක් ද වෙයි. අපගේ සමාධි කථාව පවතින්නක් ද වෙයි. ඒ සමාධි කථාව අපට පහසු ද වෙයි.
ප්‍රඥාවෙන් සමාන භාවයට ගියා වූ අප අතර ප්‍රඥා කථාවක් ද වෙයි. අපගේ ප්‍රඥා කථාව පවතින්නක් ද වෙයි. ඒ ප්‍රඥා කථාව අපට පහසු ද වෙයි.
මෙසේ හෙයින් මෙබඳු පුද්ගලයා සේවනය කළ යුතුය. ඇසුරු කළ යුතුය. පයිරුපාසන කළ යුතුය.
මෙලොව ඇතැම් පුද්ගලයෙක් සීලයෙන්, සමාධියෙන් හා ප්‍රඥාවෙන් තමාට වඩා වැඩි නම් සත්කාර කොට, ගෞරවයෙන් යුතු ව සේවනය කළ යුතුය. ඇසුරු කළ යුතුය.
ඒ කවර හෙයින් ද යත්;
මෙසේ ඇසුරු කොට,
සම්පූර්ණ නොවූ සීල ස්කන්ධය (රාශිය) සම්පූර්ණ කරන්නෙමි හෝ සම්පූර්ණ වූ සීල ස්කනධය ඒ ඒ තන්හි ප්‍රඥාවෙන් අනුග්‍රහ (දියුණු) කරන්නෙමි.
සම්පූර්ණ නොවූ සමාධි ස්කන්ධය සම්පූර්ණ කරන්නෙමි හෝ සම්පූර්ණ වූ සමාධි ස්කන්ධය ඒ ඒ තන්හි ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමි.
සම්පූර්ණ නොවූ ප්‍රඥා ස්කන්ධය සම්පූර්ණ කරන්නෙමි හෝ සම්පූර්ණ වූ ප්‍රඥා ස්කන්ධය ඒ ඒ තන්හි ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමි.
එහෙයින් මෙබඳු පුද්ගලයා සත්කාර කොට, ගෞරවයෙන් යුතු ව සේවනය කළ යුතුය. ඇසුරු කළ යුතුය. පයිරුපාසන කළ යුතුය.
එහෙයින් තමාට වඩා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු ඇසුරු කළ යුත්තේ ය.