Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණීන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

ආහුණෙය්‍ය පාහුණෙය්‍ය දක්ඛිණෙය්‍ය අඤ්ජලිකරණීය
අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස වන මහණ ගැන

ධම්මඤ්ඤු සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 4 - පිටු අංක 444 - 449)

කරුණු සතකින් යුක්ත මහණ පිදීමට සුදුසු (ආහුණෙය්‍ය), ආගන්තුක සත්කාරයට සුදුසු (පාහුණෙය්‍ය), රාග, ද්වේෂ හා මෝහ ප්‍රහාණය කළ හෝ කිරීම සඳහා පිළිපන් බැවින් දක්‍ෂිණාවන් (පරිත්‍යාගයන්) සඳහා සුදුසු (දක්ඛිණෙය්‍ය), දොහොත් මුදුන් තබා වැඳීමට සුදුසු (අඤ්ජලිකරණීය), ලෝකයාට ඉතා ශ්‍රේෂ්ඨ පින් කෙතක් (අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස) වෙයි.

කවර කරුණු සතකින් ද යත්,

මේ සසුනෙහි මහණ ධර්මඥ, අර්ථඥ, ආත්මඥ, මාත්‍රඥ, කාලඥ, පරිසඥ සහ පුද්ගල පරාවරඥ වෙයි.

  1. ධර්මඥ යනු,
    මේ සසුනෙහි මහණ සූත්‍ර (සුත්ත), ගායනා කළයුතු සූත්‍රයන්ගේ කොටස් (ගෙය්‍ය), විස්තර දේශනා (වෙය්‍යාකරණ), ගාථා, ප්‍රීති වාක්‍ය (උදාන), මෙසේ කියන ලදැයි ගන්නා ධර්ම කොටස් (ඉතිවුත්තක), ජාතක කථා (ජාතක), අරුම පුදුම විස්මය ජනක ධර්ම (අද්භූත ධම්ම), කුඩා කුඩා ධර්ම කාරණා විශ්ලේෂණය (වෙදල්ල) යන නවාංග ශාස්තෘ ශාසනය දන්නේය. ඉදින් එසේ නොදන්නේ නම් ධර්මඥ යැයි නොකියනු ලැබෙයි. මෙසේ නවාංග ශාස්තෘ ශාසනය දන්නේ නම් ධර්මඥ යැයි කියනු ලැබෙයි.
  2. අර්ථඥ යනු,
    මේ සසුනෙහි මහණ මේ මේ කියන ලද්දෙහි අර්ථය මේ මේ යැයි දනියි. මේ මෙහි අර්ථය යනුවෙනි. යමෙක් එසේ අර්ථය නොදනී නම් ඔහු අර්ථඥ යැයි නොකියනු ලැබෙයි. යමෙක් මෙසේ ඒ ඒ කියන ලද්දෙහි අර්ථය මේ මේ යැයි දනී නම් අර්ථඥ යැයි කියනු ලැබෙයි.
    මෙසේ ධර්මඥ සහ අර්ථඥ වෙයි.
  3. ආත්මඥ යනු,
    මේ සසුනෙහි මහණ ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් හා ප්‍රතිභානයෙන් (අවබෝධයෙන්) මෙපමණ යැයි තමා නොහඳුනයි නම් ආත්මඥ යැයි නොකියනු ලැබෙයි. යමෙකු ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් හා ප්‍රතිභානයෙන් මෙපමණ යැයි තමා හඳුනන්නේ නම් ආත්මඥ යැයි කියනු ලැබෙයි.
    මෙසේ ධර්මඥ, අර්ථඥ හා ආත්මඥ වෙයි.
  4. මාත්‍රඥ යනු,
    මේ සසුනෙහි මහණ සිවුරු, පිණ්ඩපාත, සෙනසුන් හා ගිලන්පස, බෙහෙත්, පිරිකර පිළිගැනීමට ප්‍රමාණය නොදන්නේ නම් මාත්‍රඥ යැයි නොකියනු ලැබෙයි. සිවුරු, පිණ්ඩපාත, සෙනසුන් හා ගිලන්පස, බෙහෙත්, පිරිකර පිළිගැනීමේ ප්‍රමාණය දන්නේ නම් මාත්‍රඥ යැයි කියනු ලැබෙයි.
    මෙසේ ධර්මඥ, අර්ථඥ, ආත්මඥ හා මාත්‍රඥ වෙයි.
  5. කාලඥ යනු,
    මේ සසුනෙහි මහණ සුදුසු කාලය දනියි. මේ උදෙසීමේ (කියාදීමේ/ඉගෙනීමේ) කාලයයි. මේ ප්‍රශ්ණ ඇසීමේ කාලයයි. මේ උත්සාහ කිරීමේ කාලයයි. මේ හුදෙකලා ව, විවේක ව සිටිය යුතු කාලයයි. එය නොදන්නේ නම් කාලඥ යැයි නොකියනු ලැබෙයි. මේ උදෙසීමේ කාලයයි, මේ ප්‍රශ්ණ ඇසීමේ කාලයයි, මේ උත්සාහ කිරීමේ කාලයයි හා මේ හුදෙකලා ව, විවේක ව හිඳීමේ කාලයයි යනුවෙන් දන්නේ නම් කාලඥ යැයි කියනු ලැබෙයි.
    මෙසේ ධර්මඥ, අර්ථඥ, ආත්මඥ, මාත්‍රඥ හා කාලඥ වෙයි.
  6. පරිසඥ (පිරිස දැකීම) යනු,
    මේ සසුනෙහි මහණ මේ රජ පිරිස, මේ බ්‍රාහ්මණ පිරිස, මේ ගිහි පිරිස හා මේ ශ්‍රමණ පිරිස යැයි දැන, මේ මේ තැන්වලට මෙසේ යා යුතුය, එහි මෙසේ සිටිය යුතුය, මෙසේ ඉඳගත යුතුය, මෙසේ කතා කළ යුතුය යැයි මේ පිරිස් දන්නේය. එසේ නොදන්නේ නම් පරිසඥ යැයි නොකියනු ලැබෙයි. එසේ පිරිස දැන ගෙන තැනට සුදුසු ලෙස හැසිරීම දන්නේ නම් පරිසඥ යැයි කියනු ලැබෙයි.
    මෙසේ ධර්මඥ, අර්ථඥ, ආත්මඥ, මාත්‍රඥ, කාලඥ හා පරිසඥ වෙයි.
  7. පුද්ගල පරාවරඥ (පුද්ගලයන්ගේ උස් පහත් ස්වභාවය දන්නා බව) යනු,
    මේ සසුනෙහි මහණ දෙයාකාරයකින් පුද්ගලයන් දැන ගනියි. එක් අයෙක් ආර්යයන් දැකීමට කැමති වෙයි. අනෙකා ආර්යයන් දැකීමට අකමැති වෙයි. යම් පුද්ගලයෙක් ආර්යයන් දැකීමට අකමැති නම් ඒ කරුණින් ගැරහිය යුතු වෙයි. යමෙක් ආර්යයන් දැකීමට කැමති නම් ඒ කරුණින් ප්‍රශංසා කළ යුතුය.
    පුද්ගලයන් දෙදෙනා ම ආර්යයන් දැකීමට කැමති වෙති. එක් කෙනෙක් සද්ධර්මය අසන්නට කැමති වෙයි. අනෙකා සද්ධර්මය ඇසීමට අකමැති වෙයි. යම් පුද්ගලයෙක් සද්ධර්මය ඇසීමට අකමැති නම් ඒ කරුණින් ගැරහිය යුතු වෙයි. යමෙක් සද්ධර්මය ඇසීමට කැමති නම් ඒ කරුණින් ප්‍රශංසා කළ යුතුය.
    පුද්ගලයන් දෙදෙනා ම සද්ධර්මය ඇසීමට කැමති වෙති. එක් කෙනෙක් යොමු කළ කන් ඇති ව සද්ධර්මය අසයි. අනෙකා යොමු නොකළ කන් ඇති ව සද්ධර්මය අසයි. යම් පුද්ගලයෙක් යොමු නොකළ කන් ඇති ව සද්ධර්මය අසයි නම් ඒ කරුණින් ගැරහිය යුතු වෙයි. යමෙක් යොමු කළ කන් ඇති ව සද්ධර්මය අසයි නම් ඒ කරුණින් ප්‍රශංසා කළ යුතුය.
    පුද්ගලයන් දෙදෙනා ම යොමු කළ කන් ඇති ව ධර්මය අසති. එක් කෙනෙක් ධර්මය දරයි. අනෙකා ධර්මය නොදරයි. යම් පුද්ගලයෙක් ධර්මය නොදරයි ද, ඒ කරුණින් ගැරහිය යුතු වෙයි. යම් පුද්ගලයෙක් ධර්මය දරයි ද, ඒ කරුණින් ප්‍රශංසා කළ යුතුය.
    පුද්ගලයන් දෙදෙනා ම ධර්මය දරති. එක් කෙනෙක් ධර්මයේ අර්ථය විමසා බලයි. අනෙකා ධර්මයේ අර්ථය විමසා නොබලයි. යම් පුද්ගලයෙක් ධර්මයේ අර්ථය විමසා නොබලයි ද, ඒ කරුණින් ගැරහිය යුතුය. යම් පුද්ගලයෙක් ධර්මයේ අර්ථය විමසා බලයි ද, ඒ කරුණින් ප්‍රශංසා කළ යුතුය.
    පුද්ගලයන් දෙදෙනා ම අර්ථය පරීක්‍ෂා කරති. එක් කෙනෙක් අර්ථය දැන, ධර්මය දැන, ධම්මානුධම්මපටිපන්න (කතා කරනවිට ධර්මය ම කතා කිරීම, සිතන විට ධර්මය ම සිතීම, අනෙක් වෙලාවට සිහි නුවණින් යුක්තව උපේක්‍ෂාවෙන් විසීම) වෙයි. අනෙකා අර්ථය දැන, ධර්මය දැන, ධම්මානුධම්මපටිපන්න නොවෙයි. යම් පුද්ගලයෙක් අර්ථය දැන, ධර්මය දැන, ධම්මානුධම්මපටිපන්න නොවේ ද, ඒ කරුණින් ගැරහිය යුතු වෙයි. යම් පුද්ගලයෙක් අර්ථය දැන, ධර්මය දැන, ධම්මානුධම්මපටිපන්න වේ ද, ඒ කරුණින් ප්‍රශංසා කළ යුතුය.
    පුද්ගලයන් දෙදෙනා ම ධම්මානුධම්මපටිපන්න වෙති. එක් කෙනෙක් තමාගේ යහපත පිණිස යෙදෙන නමුත් අනුන්ගේ යහපත පිණිස නොයෙදෙයි. අනෙකා තමාගේ යහපත පිණිස ද, අනුන්ගේ යහපත පිණිස ද යෙදෙයි. යම් පුද්ගලයෙකු තමාගේ යහපත පිණිස යෙදේ ද, අනුන්ගේ යහපත පිණිස නොයෙදේ ද, ඒ කරුණින් ගැරහිය යුතුය. යම් පුද්ගලයෙකු තමාගේ යහපත පිණිස ද, අනුන්ගේ යහපත පිණිස ද යෙදේ නම් ඒ කරුණින් ප්‍රශංසා කළ යුතුය. මෙසේ පුද්ගල පරාවරඥ වෙයි.

මේ ධර්ම හතෙන් සමන්වාගත (යුක්ත) භික්ෂුව, ආහුණෙය්‍ය, පාහුණෙය්‍ය, දක්‍ඛිණෙය්‍ය, අඤජලිකරණීය, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස වෙයි.


බාගත ​කිරීමට