Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණීන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

කරුණු තුනකින් යුත් පවිටු භික්ෂුව
බොහෝ පව් රැස් කරයි

චූල වග්ගය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 1 - පිටු අංක 278 - 279)

කරුණු තුනකින් යුතු වූ පාපකාරී (පව් කරනසුලු) භික්ෂුව පලුදු කර ගත් ගුණ ඇති, නසන ලද ගුණ ඇති ජීවිතයක් පරිහරණය කරයි. නුවණැත්තන්ගේ අපවාදයට භාජනය වන දොස් සහිත වූයේ බොහෝ පව් ද රැස් කරයි.

කවර කරුණු තුනකින් ද යත්;

  1. මේ ශාසනයෙහි පාපකාරී භික්ෂුව විෂම ස්ථාන ඇසුරු කරන්නෙක් වෙයි.
    ඒ කෙසේ ද යත්,
    මේ ශාසනයේ පාපකාරී භික්ෂුව දුෂ්ට වූ කාය කර්මයෙන් යුතු වෙයි. දුෂ්ට වූ වචී කර්මයෙන් යුතු වෙයි. දුෂ්ට වූ මනෝ කර්මයෙන් යුතු වෙයි.
    මෙසේ විෂම ස්ථාන ඇසුරු කරන්නෙක් වෙයි.
  2. ගහන ස්ථාන ඇසුරු කරන්නෙක් වෙයි.
    ඒ කෙසේ ද යත්,
    මේ ශාසනයේ පාපකාරී භික්ෂුව මිථ්‍යා දෘෂ්ටියෙන් යුතු වූ මිසදිටුවෙක් වෙයි.
    මෙසේ ගහන ස්ථාන ඇසුරු කරන්නෙක් වෙයි.
  3. බලවතුන් ඇසුරු කරන්නෙක් වෙයි.
    ඒ කෙසේ ද යත්,
    මේ ශාසනයෙහි පාපකාරී භික්ෂුව රජුන් හෝ රාජ මහා ඇමතියන් ඇසුරු කරන්නේ වෙයි. ඔහුට මෙසේ අදහස් වෙයි. ‘ඉදින් මා පිළිබඳ ව කිසිවෙක් කිසිවක් කියා ද, මේ රජවරු හෝ රාජ මහා ඇමතියෝ මාගේ දෝෂය සඟවා කියන්නාහුය’. රජවරු සහ රාජ මහා ඇමතියෝ එසේ ම කියති.
    මෙසේ බලවතුන් ඇසුරු කරන්නෙක් වෙයි.

මේ කරුණු තුනෙන් යුක්ත වූ පාපකාරී භික්ෂුව පලුදු කරගත් ගුණ ඇති, නසන ලද ගුණ ඇති ජීවිතයක් පරිහරණය කරයි. නුවණැත්තන්ගේ අපවාදයට භාජනය වන දොස් සහිත වූයේ බොහෝ පව් ද රැස් කරයි.


බාගත ​කිරීමට