Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණීන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

මහණෙනි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා
මාරයාගේ ඇම යෙදූ බිලී කටුවකි රැවටෙන්න එපා

බලිස සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා‚ සංයුක්ත නිකාය 2 - පිටු අංක 344 - 345)

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලා අමතා මෙසේ වදාළ සේක.

මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය. කටුක ය. නපුරු ය. ඉතා උතුම් වූ නිවන් අවබෝධය සාක්ෂාත් කිරීම පිණිස අන්තරායකාරී වෙයි.

මහණෙනි, යම් සේ මසුන් මරන්නෙක් ඇම යෙදූ බිලී කට්ට ගැඹුරු වතුර වලකට දැමූ විට ඇමට රැවටුණු මාළුවෙක් එය ගිලියි. මෙසේ ඒ මාළුවා ඇම යෙදූ බිලී කට්ට ගිලගෙන දුකට පැමිණුනේ විනාශයට පැමිණුනේ මසුන් මරන්නාට කැමති සේ කැමති දෙයක් කළ හැකි බවට පත්වෙයි.

මසුන් මරන්නා යනු ‘පාපී මාරයාට’ නමකි. බිලී කටුව යනු ‘ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ට’ වූ නමකි.

මහණෙනි, යම් කිසි මහණෙක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආස්වාදය කරයි ද ඒවාට ආශා කරයි ද මේ මහණ තෙම ගිල ගත් බිලී කට්ටක් ඇත්තේ දුකට පැමිණුනේ, විනාශයට පැමිණුනේ පවිටු මාරයාට කැමති සේ කැමති දෙයක් කළ හැකි බවට පත්වෙයි.

මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණු ය. කටුක ය. නපුරු ය. ඉතා උතුම් වූ නිවන් අවබෝධය සාක්ෂාත් කිරීම පිණිස අන්තරායකාරී වෙයි.

මහණෙනි, එම නිසා නුඹලා මෙසේ ම හික්මිය යුතුය. ‘උපන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට අපගේ සිත හාත්පසින් මැඬ පැවැත්වීමට ඉඩ නොදෙමු’යැයි තොප විසින් මෙසේ ම හික්මිය යුතුය.


බාගත ​කිරීමට