Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණීන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

දුසිල්වත් භික්ෂුවක් ව ගිහියන්ගේ ගරු බුහුමන්
ඉවසුවහොත් නිරයේ උපදියි

අග්ගික්ඛන්ධොපම සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 4- පිටු අංක 464 - 475)

යම් බලවත් පුරුෂයෙක් දැඩි වූ වර පටියකින් කෙන්ඩා දෙක වෙළා තද කරන්නේ නම්, ඒ වර පට සිවිය සිඳින්නේය. සිවිය සිඳ සම සිඳින්නේය. සම සිඳ මස් සිඳින්නේය. මස් සිඳ නහර සිඳින්නේය. නහර සිඳ ඇට සිඳින්නේය. ඇට සිඳ ඇට මිදුලු වලට වැදී සිටියි නම් එය ද උතුම්, එසේ නැතහොත් රාජකීය මහාසාරයන්ගෙන් හෝ බ්‍රාහ්මණ මහාසාරයන්ගෙන් හෝ ගෘහපති මහාසාරයන්ගෙන් ගරු බුහුමන් ඉවසීම ද?

ස්වාමීනි, රාජකීය මහාසාරයන්ගෙන් හෝ බ්‍රාහ්මණ මහාසාරයන්ගෙන් හෝ ගෘහපති මහාසාරයන්ගෙන් ගරු බුහුමන් ඉවසීම වඩා උතුම් වෙයි.

යම් බලවත් පුරුෂයෙක් දැඩි වූ වර පටියකින් කෙන්ඩා දෙක වෙළා තද කරන්නේ නම්, ඒ වර පට සිවිය සිඳින්නේය. සිවිය සිඳ සම සිඳින්නේය. සම සිඳ මස් සිඳින්නේය. මස් සිඳ නහර සිඳින්නේය. නහර සිඳ ඇට සිඳින්නේය. ඇට සිඳ ඇට මිදුලු වලට වැදී සිටියි නම් එය දුකක් ම ය.

මහණෙනි, මම තොපට ප්‍රකාශ කරමි. කරුණු දක්වා කියමි.

දුස්සීල වූ, පාප ධර්ම ඇති, අපිරිසිදු ක්‍රියා ඇති, රහසේ කරන පාප ක්‍රියා ඇති, ශ්‍රමණ යැයි හඟවන අශ්‍රමණ වූ, බ්‍රහ්මචාරී යැයි හඟවන අබ්‍රහ්මචාරී වූ, කෙලෙස් වැගිරෙන ඇතුළත කුණු වූ, දුස්සීලයා හට යම් බලවත් පුරුෂයෙක් දැඩි වූ වර පටියකින් කෙන්ඩා දෙක වෙළා තද කරන්නේ නම්, ඒ වර පට සිවිය සිඳින්නේය. සිවිය සිඳ සම සිඳින්නේය. සම සිඳ මස් සිඳින්නේය. මස් සිඳ නහර සිඳින්නේය. නහර සිඳ ඇට සිඳින්නේය. ඇට සිඳ ඇට මිදුලු වලට වැදී සිටියි නම් එය ම උතුම් වෙයි.

ඒ කවර හෙයින් ද යත්, එය හේතු කොට ගෙන ඔහුට මරණය හෝ ඒ හා සමාන දුකක් වන්නේ ය. ඒ හේතුවෙන් කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුර්ගතිය නම් වූ, නපුරු වැටීමක් වූ නිරයට නම් නොපැමිණෙන්නේ ය.

දුස්සීල වූ, පාප ධර්ම ඇති, අපිරිසිදු ක්‍රියා ඇති, රහසේ කරන පාප ක්‍රියා ඇති, ශ්‍රමණ යැයි හඟවන අශ්‍රමණ වූ, බ්‍රහ්මචාරී යැයි හඟවන අබ්‍රහ්මචාරී වූ, කෙලෙස් වැගිරෙන ඇතුළත කුණු වූ, දුස්සීල මහණ රාජකීය මහාසාරයන්ගෙන් හෝ බ්‍රාහ්මණ මහාසාරයන්ගෙන් හෝ ගෘහපති මහාසාරයන්ගෙන් ගරු බුහුමන් ඉවසීම ද කරයි නම්, ඔහුට බොහෝ කාලයක් අහිත පිණිස දුක් පිණිස පවතින්නේ ය.

මරණින් මතු අපාය නම් වූ, දුර්ගතිය නම් වූ, නපුරු වැටීමක් වූ නිරයට පැමිණෙන්නේ ය.


බාගත ​කිරීමට