Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණීන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

මේ සසුනෙහි මහා හොරු පස් දෙනෙකි

සිව්වන පරිජිය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, විනය පිටකය, පරාජිකා පාළි - පිටු 196 -199)

ලොව මහා හොරු පස් දෙනෙක් වෙති.

  1. මෙලොව එක්තරා මහා සොරෙකුට මෙසේ සිත් වෙයි. ‘මම කවදා නම් සියයක් හෝ දහසක් පිරිස ඇති ව ගම්, නියම්ගම්, අගනුවරවල් මංකොල්ල කමින්, මරමින්, කපමින්, කප්පවමින්, දවමින්, දවවමින්, ඇවිදින්නෙම් දෝ’ යි. පසු කලෙක ඔහු එසේ ඇවිදියි.
    මහණෙනි, එපරිද්දෙන් ම පවිටු (පව් කරණ) භික්ෂුවකට මෙසේ සිත් වෙයි. ‘මම කවදා නම් සියයක් හෝ දහසක් පිරිස පිරිවරා ගෙන ගම්, නියම්ගම්, අගනුවරවල ගිහි පැවිදි දෙපිරිසෙන් සත්කාර ලබමින්, ගෞරවය ලබමින්, පුද පූජා ලබමින්, චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර ලබමින් චාරිකාවේ හැසිරෙන්නෙම් දෝ’ යි.
    පසු කලෙක ඒ පවිටු මහණ එසේ පිරිස ඇති ව ගෞරව, පුද පූජා, සත්කාර ලබමින්, චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර ලබමින් ගම් නියම් ගම් අගනුවරවල හැසිරෙයි.
    ඔහු මෙලොව විද්‍යාමාන වන (දක්නට ඇති) පළමු වන මහා සොරා වෙයි.
  2. මේ සසුනෙහි පවිටු භික්ෂුවක් තථාගතයන් වහන්සේ ප්‍රකාශ කළ ධර්ම විනය ඉගෙන ගෙන එය තමාගේ යැයි ප්‍රකාශ කරයි.
    ඔහු මෙලොව විද්‍යාමාන වන දෙවන මහා සොරා වෙයි.
  3. මේ සසුනෙහි පවිටු භික්ෂුවක් පිරිසිදු බ්‍රහ්මචාරී ව බ්‍රහ්මචරියාවේ හැසිරෙන්නෙකුට අමූලික (හේතු නැති ව) අබ්‍රහ්මචරියාවේ හැසිරේ යැයි දෝෂාරෝපනය කරයි.
    ඔහු මෙලොවෙහි විද්‍යාමාන වන තුන්වන මහා සොරා වෙයි.
  4. මේ සසුනෙහි පවිටු භික්ෂුවක් සඟ සතු ගරු භාණ්ඩ සහ ගරු පිරිකර වන ආරාම , ආරාම වතු, විහාර, විහාර වතු‍, ඇදන්, පුටු, මෙට්ට, කොට්ට, ලෝහ මුට්ටි, ලෝහ සැළි, ලෝහ කළ, ලෝහ කටාරම්, වෑ, පොරෝ, කෙටේරි, උදලු, නියන්, වැල්, උණ ගස්, මුදු තණ (බට වැනි තණ වර්ගයක්) හීන් වේවැල්, තණකොල, මැටි, ලී භාණ්ඩ, මැටි භාණ්ඩ යන ඒවායින් ගිහියන්ට සංග්‍රහ කෙරෙයි. උපකාර කෙරෙයි. පොළඹවයි.
    ඔහු මෙලොවෙහි විද්‍යාමාන හතරවැනි මහා සොරා වෙයි.
  5. යම් පවිටු භික්ෂුවක් තමා තුළ නැති, අවිද්‍යාමාන උත්තරීමනුස්ස ධර්ම (ධ්‍යාන, මාර්ගඵල, සමාධි, කෙලෙස් ප්‍රහාණයන් ආදිය) ඇතැයි කියයි.
    ඔහු දෙවියන් මරුන්, බ්‍රහ්මයන් සහිත සියලු දෙව් මිනිසුන් අතර වූ මහ ම මහා සොරා වෙයි. ඒ කවර හෙයින් ද යත් සොර සිතින් රටවැසියා දෙන ආහාර අනුභව කරන හෙයිනි.
    යමෙක් තමා තුළ නැති දේ ඇති යැයි පවසා වංචාවෙන්, කපටිකමෙන්, සොරකමින් ආහාර අනුභව කරයි ද, කසාවත් අඳින ඒ පව්කාර නොහික්මුණු පාපකාරීහු නිරයෙහි උපදිති.
    ඉදින් ඒ නොහික්මුණු පව්කාර මහණ තෙමේ රටවැසියාගේ දානය වළඳන්නේ ද එයට වඩා රත් වූ ගිනි ගෙන දැවෙන යකඩ ගුලි වළඳන්නේ නම් උතුම් වෙයි. ඒ මක් නිසා ද යත් ගිනි ගත් යකඩ ගුලි වළදා මරණය හෝ මරණ සමාන දුකකට පැමිණෙයි. එහෙත් තීව්ර දුක් සහිත නිරයට නම් නොපැමිණෙයි.

බාගත ​කිරීමට