Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණීන්ට ආවේණික කරුණු සහ උපදෙස් /

ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අසූචි සැපයකි මෝඩ සැපයකි

නාගිත සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 3 - පිටු අංක 44 - 49 )

එකල භාග්‍යවතුන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා සමඟ කොසොල් ජනපදයේ චාරිකාවේ වඩින අතරතුර ඉච්ඡානඞ්ගල නම් ගම අසල වන ලැහැබක වැඩ වසන සේක.

ඉච්ඡානඞ්ගල ගම් වැසියෝ, බුදු රජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වන බැව් ද මුල මැද අග යහපත් වූ නිවන් මග පරිපූර්ණ ව දේශනා කරන බැව් ද එ බඳු රහතුන්ගේ දැකිම යහපත් බැව් ද ඇසූහ.

පසු දින බොහෝ කෑ යුතු, වැළඳිය යුතු දේ (දානය) රැගෙන උස් හඬින් මහ හඬින් කථා කරමින් ඉදිරිපස සිටියහ.

ඒ සමයෙහි බුදු රජාණන් වහන්සේ විසින් උපස්ථායක නාගිත තෙරණුවන්ගෙන් මෙසේ ඇසූ සේක.

“නාගිතය, මාළු විකුණන තැනක කෑ ගසන කපුටන්ගේ ශබ්දය මෙන් උස් හඬින් මහ හඬින් කෑ ගසන්නේ කවුරුන් ද?”

“භාග්‍යවතුන් වහන්ස, ඉච්ඡානඞ්ගල මිනිස්සු බුදු රජාණන් වහන්සේ සහ භික්ෂු සංඝයා උදෙසා බොහෝ කන බොන දෑ රැගෙන විත් ඉදිරිපස සිටිති” යැයි නාගිත තෙරණුවෝ වදාළ සේක.

“නාගිතයෙනි, මම කීර්තිය සමඟ එකතු නොවෙම්වා. කීර්තිය ද මා සමඟ එකතු නොවේවා. මම යම් නෙක්ඛම්ම සුවයක්, විවේක සුවයක්, සංසිඳුණු සුවයක්, මනා අවබෝධයෙන් ලද සුවයක් කැමති සේ ලබන සුලු වෙමි. නිදුකින් ලබන සුලු වෙමි. මහත් කොට ලබන සුලු වෙමි.

යම් පුද්ගලයෙක් නෙක්ඛම්ම සුවයක්, විවේක සුවයක්, සංසිඳුණු සුවයක්, මනා අවබෝධයෙන් ලද සුවයක් කැමති සේ නොලබන සුලු වේ නම්, නිදුකින් නොලබන සුලු වේ නම්, මහත් සේ නොලබන සුලු වේ නම්, හෙතෙම ඒ අසූචි සැපයක් වූ මෝඩ සැපයක් වූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසායෙන් ලැබෙන සැපය ඉවසන්නේ ය”.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා. සුගතයන් වහන්සේ ඉවසන සේක්වා. මේ ඉවසීමට කාලයයි. භාග්‍යවතුන් වහන්සේ යම් දිශාවකින් වඩින්නේ ද ඒ ගම් නියම් ගම් වැසියෝ ඒ දිශාවට නැමෙන්නෝ ම ය. ඒ මක් නිසා ද යත් භාග්‍යවතුන් වහන්සේගේ සීලය සහ ප්‍රඥාව නිසාය” යැයි නාගිත තෙරණුවෝ පැවසූ සේක.

“නාගිතයෙනි, මම කීර්තිය සමඟ එකතු නොවෙම්වා. කීර්තිය ද මා සමඟ එකතු නොවේවා. මම යම් නෙක්ඛම්ම සුවයක්, විවේක සුවයක්, සංසිඳුණු සුවයක්, මනා අවබෝධයෙන් ලද සුවයක් කැමති සේ ලබන සුලු වෙමි. නිදුකින් ලබන සුලු වෙමි. මහත් කොට ලබන සුලු වෙමි.

යම් පුද්ගලයෙක් නෙක්ඛම්ම සුවයක්, විවේක සුවයක්, සංසිඳුනුණු සුවයක්, මනා අවබෝධයෙන් ලද සුවයක් කැමති සේ නොලබන සුලු වේ නම්, නිදුකින් නොලබන සුලු වේ නම්, මහත් සේ නොලබන සුලු වේ නම්, හෙතෙම ඒ අසූචි සැපයක් වූ මෝඩ සැපයක් වූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසායෙන් ලැබෙන සැපය ඉවසන්නේ ය.

නාගිතය, අනුභව කරන ලද, පානය කරන ලද, කන ලද, රස විඳින ලද දේ හි විපාකය මල මූත්‍රා පමණක් ම වෙයි.

ප්‍රියයන්ගෙන් සහ ප්‍රිය වූ දෙයින් ලැබෙන විපාකය නම් ප්‍රිය වූ දේවල් වෙනස් වීමෙන්, අන් පරිදි වීමෙන්, විනාශයෙන් ලැබෙන දුක් දොම්නස් උපායාස ම වෙයි.

අසුභ නිමිත්ත වැඩීමෙහි යෙදෙන පුද්ගලයාට සුභ නිමිත්තෙහි පිළිකුල් බව පිහිටයි. මේ අසුභය වැඩීමේහි විපාකයයි.

ස්පර්ශ ආයතන හයෙහි අනිත්‍යය නුවණින් බලමින් සිටින්නහුට ස්පර්ශයේ පිළිකුල් බව පිහිටා සිටියි. මේ එහි විපාකයයි.

පංච උපාදානස්කන්ධයේ උදය වැය නුවණින් බලමින් සිටින්නහුට උපාදානයේ පිළිකුල් බව පිහිටා සිටියි. මේ එහි විපාකයයි”.


බාගත ​කිරීමට