Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව් වනක් පිරිස සඳහා වූ පොදු කරුණු සහ උපදෙස් /

කසී සළු වැනි අගනා සිල්වත් යහපත් භික්ෂුව ඇසුරු කර දුකෙන් මිදෙමු

තික නිද්දෙසො ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අභිධර්ම පිටකය, පුග්ගලපඤ්ඤත්තිප්පකරණය - පිටු අංක 314 - 317)

කසී සළු (වටිනා රෙදි වර්ගයක්) වැනි වටිනා පුද්ගලයෝ තිදෙනෙක් වෙති. කසී සළු තුනකි.

කවර තුනක් ද යත්;

  1. අලුත් කසී සළුව ද සිත් ගන්නාසුලු වෙයි, කයට සිනිඳු සුව පහසක් ම ඇත්තේ වෙයි, මහත් වටිනාකමකින් ද යුතු වෙයි.
  2. අලුත් නොවූ, දිරා නොගිය කසී සළුව ද සිත් ගන්නාසුලු වෙයි, කයට සිනිඳු සුව පහසක් ම ඇත්තේ වෙයි, මහත් වටිනාකමකින් ද යුතු වෙයි.
  3. දිරා ගිය කසී සළුව ද සිත් ගන්නාසුලු වෙයි, කයට සිනිඳු සුව පහසක් ම ඇත්තේ වෙයි, මහත් වටිනාකමකින් ද යුතු වෙයි. දිරා ගිය කසී සළුවක් වුව ද එය මැණිකක් ඔතා තබන්නට හෝ ගන්නේ වෙයි. සුවඳ කරඬුවක හෝ දමන්නේ වෙයි.

එපරිද්දෙන් ම භික්ෂූන් වහන්සේලා අතර ද කසී සළු වැනි භික්ෂූන් වහන්සේලා තිදෙනෙක් වෙති.

කවර තිදෙනෙක් ද යත්;

  1. මෙසස්නෙහි නවක මහණ සිල්වත් වූයේ, යහපත් ගති ඇත්තේ වේ ද මේ ඔහුගේ සිත් ගන්නාසුලු බව වෙයි. යම් සේ ඒ කසී සළුව සිත් ගන්නාසුලු වූයේ ද මේ නවක මහණ ද එසේ ම වෙයි.
    යම් කෙනෙක් ඔහු ඇසුරු කරන්නේ ද, සේවනය කරන්නේ ද, ඔහුගේ දෘෂ්ටිය අනුව හැසිරෙන්නේ ද එය ඔවුන්ට බොහෝ කලක් හිත පිණිස සුව පිණිස වෙයි. මෙය ඔහුගේ සිනිඳු සුව පහස වෙයි. යම් සේ කසී සළුව සිනිඳු සුව පහසක් ම ඇත්තේ ද මේ නවක මහණ ද එබඳු වෙයි.
    තව ද මේ මහණ යම් කෙනෙකුගේ සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස බෙහෙත් පිරිකර පිළිගන්නේ ද ඔවුන්ට එය මහත්ඵල මහානිසංස වෙයි. මේ ඔහුගේ මහත් වටිනාකම වෙයි. යම් සේ කසී සළුව මහත් වටිනාකමකින් යුතු වේ ද මේ නවක මහණ ද එබඳු ම වෙයි.
  2. මෙසස්නෙහි මධ්‍යම මහණ සිල්වත් වූයේ, යහපත් ගති ඇත්තේ වේ ද මේ ඔහුගේ සිත් ගන්නාසුලු බව වෙයි. යම් සේ ඒ කසී සළුව සිත් ගන්නාසුලු වූයේ ද මේ මධ්‍යම මහණ ද එසේ ම වෙයි.
    යම් කෙනෙක් ඔහු ඇසුරු කරන්නේ ද, සේවනය කරන්නේ ද, ඔහුගේ දෘෂ්ටිය අනුව හැසිරෙන්නේ ද එය ඔවුන්ට බොහෝ කලක් හිත පිණිස, සුව පිණිස වෙයි. මෙය ඔහුගේ සිනිඳු සුව පහස වෙයි. යම් සේ කසී සළුව සිනිඳු සුව පහසක් ම ඇත්තේ ද මේ මධ්‍යම මහණ ද එබඳු වෙයි.
    තව ද මේ මහණ යම් කෙනෙකුගේ සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස බෙහෙත් පිරිකර පිළිගන්නේ ද ඔවුන්ට එය මහත්ඵල මහානිසංස වෙයි. මේ ඔහුගේ මහත් වටිනාකම වෙයි. යම් සේ කසී සළුව මහත් වටිනාකමකින් යුතු වේ ද මේ මධ්‍යම මහණ ද එබඳු ම වෙයි.
  3. මෙසස්නෙහි ස්ථවිර මහණ සිල්වත් වූයේ, යහපත් ගති ඇත්තේ වේ ද මේ ඔහුගේ සිත් ගන්නාසුලු බව වෙයි. යම් සේ ඒ කසී සළුව සිත් ගන්නාසුලු වූයේ ද මේ ස්ථවිර මහණ ද එසේ ම වෙයි.
    යම් කෙනෙක් ඔහු ඇසුරු කරන්නේ ද, සේවනය කරන්නේ ද, ඔහුගේ දෘෂ්ටිය අනුව හැසිරෙන්නේ ද එය ඔවුන්ට බොහෝ කලක් හිත පිණිස, සුව පිණිස වෙයි. මෙය ඔහුගේ සිනිඳු සුව පහස වෙයි. යම් සේ කසී සළුව සිනිඳු සුව පහසක් ම ඇත්තේ ද මේ ස්ථවිර මහණ ද එබඳු වෙයි.
    තව ද මේ මහණ යම් කෙනෙකුගේ සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස බෙහෙත් පිරිකර පිළිගන්නේ ද ඔවුන්ට එය මහත්ඵල මහානිසංස වෙයි. මේ ඔහුගේ මහත් වටිනාකම වෙයි. යම් සේ කසී සළුව මහත් වටිනාකමකින් යුතු වේ ද මේ ස්ථවිර මහණ ද එබඳු ම වෙයි. මේ ස්ථවිර මහණ සංඝයා මැද කථා කරන්නේ නම් භික්ෂූහු මෙසේ කියති.
    “ඇවැත්නි නිශ්ශබ්ද වන්න. මේ ස්ථවිර මහණ ධර්ම විනය දේශනා කරන්නේය.”
    ඔහුගේ ඒ කතා කරන වචනය සුවඳ කරඬුවක දමා නිදන් කරන්නා ලෙස නිදන් කළ යුතු යැයි සංඝයා සිතති.

බාගත ​කිරීමට