ප්‍රභාස්වර, උතුම් වර්ණයෙන් බබළන, තද රතු පාටින් දිලෙන දිවසළු පොරවා ගෙන සිටින, මහා ඉර්ධිමත්, සඳුන් තැවරුවා වැනි සිරුරක් හිමි දෙව් දුවක් සිටියාය. ඇයගේ ආසනය විවිධ මැණික් වර්ගවලින් පුදුම ආකාරයෙන් අලංකාර වී ඇති අතර, ඇය එහි වාඩිවී සිටින විට නන්දන වනයේ සිටින සක් දෙවිඳු සේ බබළන්නීය.
මෙවැනි ආනුභාවයක් ලැබීමට ඇය කළ පින කුමක්දැයි විමසන ලදුව, දෙව් දුව මෙසේ පිළිතුරු දුන්නාය. “එදා ඔබ වහන්සේ පිණ්ඩපාතයේ වැඩි වෙලාවේ මම දෑසමන් මල් මාලාවක් ද, උක් හකුරු පැන් ද ඔබ වහන්සේට පූජා කළා. ඒ කර්මයේ විපාකය ලෙස තමයි දිව්‍ය ලෝකයේ මේ සැප විඳින්නේ. නමුත් ස්වාමීනි, මට ලොකු පසුතැවිල්ලක් තිබෙනවා. මගේ අතින් ලොකු වැරැද්දක් වුණා. බුදු රජාණන් වහන්සේ විසින් මැනවින් වදාරණ ලද ඒ සද්ධර්මයට මම සවන් දුන්නේ නැහැ.
ස්වාමීනි, මම ඔබ වහන්සේට කියන්නේ, යම් කෙනෙකුට මං ගැන අනුකම්පාවක් තිබෙනවා නම් ඒ කවුරු හරි කෙනෙක් බුදු රජාණන් වහන්සේ විසින් මැනවින් වදාරණ ලද සද්ධර්මයෙහි මා සමාදන් කරනු මැනව.
ඇතැම් දෙවිවරුන්ට බුදු රජාණන් වහන්සේ ගැනත්, ධර්මය හා ආර්ය සංඝ රත්නය ගැනත් ශ්‍රද්ධාවක් තිබෙනවා. අන්න ඒ දෙවිවරුන් ආයුෂයෙන්, යසසින්, සිරියාවෙන් මා ඉක්මවා ලස්සනට බබළනවා. ඒ ඉර්ධිමත් මහා දෙවිවරු වර්ණයෙන් හරි ප්‍රතාපවත්. උත්තරීතරයි. මට වඩා සැප තිබෙනවා”.