මෙකල බොහෝ භික්ෂු භික්ෂුණීහු කුහකකම් කර අනුන් රවටති. මෙසේ කුරුළු වැද්දන් කුරුල්ලන් රවටා ගෙන මරා ගෙන කන්නා සේ ම කුහකකම් කර උපාසක උපාසිකාවන් රවටා ගෙන සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත්, පිරිකර ලබා ගනිති. මෙසේ අසූචි සැපයක්, මෝඩ සැපයක් යැයි බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කළ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා උපදවා ගනිති.
කුහකකම යනු;
නැති ගුණ අඟවන බව, අනුන් රවටා ලාභ, සත්කාර ලබා ගන්නා බව, තමා සිල්වතෙකු බව බොරුවට පෙන්වන බව, තමා තුළ නැති ගුණ අඟවන වංචනික බව ආදිය වෙයි.
කුහකකම් තුනකි.
උපාසක උපාසිකාවන් විසින් සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත්, පිරිකරවලින් යම් භික්ෂුවක් පවරනු ලබයි. හෙතෙම වැඩිපුර සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත්, පිරිකර ලබන අදහසින්, පව්කාර කැමැත්තෙන් ඒ කැමති සේ ලැබුනා වූ සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත්, පිරිකර ප්‍රතික්ෂේප කරයි.
ඔහු මෙසේ ද කියයි.
‘භික්ෂූන්ට මහත් අගනා සිවුරු වලින් ඇති වටිනාකම කුමක් ද? සොහොනෙන් හෝ කුණු වළෙන් හෝ කඩපිලෙන් අතහැර දැමූ රෙදි කැබලිවලින් කළ සිවුරු භික්ෂූන්ට සාරුප්‍ය (යෝග්‍ය, සුදුසු) වෙයි.
තව ද භික්ෂූන්ට මහත් අගනා පිණ්ඩපාතයෙන් ඇති වටිනාකම කුමක් ද? පිඬු සිඟා යෑමෙන් ලද භෝජනයෙන් ජීවත් වීම භික්ෂූන්ට සාරුප්‍ය වෙයි.
භික්ෂූන්ට මහත් අගනා සෙනසුන් වලින් ඇති වටිනාකම කුමක් ද? රුක් මුල් යට හෝ සොහොනෙහි හෝ එළිමහනේ වාසය කිරීම භික්ෂූන්ට සාරුප්‍ය වෙයි.
භික්ෂූන්ට අගනා ගිලන්පස, බෙහෙත්, පිරිකරවලින් ඇති වටිනාකම කුමක් ද? පූතිමුත්ත භේසජ්ජය (තම මුත්‍රා බෙහෙතකට ගැනීම) හෝ අරළු බෙහෙත් වලින් බෙහෙත් කෘත්‍යය කරන්නේය. මෙය භික්ෂූන්ට සාරුප්‍ය වෙයි’.
ඔහු එතැන් පටන් රළු සිවුරු දරයි. රළු ආහාර වළඳයි. රළු සේනාසනවල වාසය කරයි. රළු ගිලන්පස, බෙහෙත්, පිරිකර පරිභෝග කරයි.
උපාසක උපාසිකාවෝ මේ භික්ෂුව මෙවැනි භික්ෂුවක් යැයි දැන ගනිති. මේ භික්ෂුව අල්පේච්ඡය, ලද දෙයින් සතුටු වනසුලුය, තනි ව එකළා ව විවේකයෙන් වසනසුලුය, ගිහි පැවිදි දෙපිරිසෙන් ම ඈත් වී වසන්නේය, නොනවත්වන ලද වීර්යයෙන් යුක්තය, ධූතාංග රකිනසුලු යැයි මතු මත්තේ ද බොහෝ සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත්, පිරිකරවලින් පවරති.
ඔහු මෙසේ කියයි.
‘තිදෙනෙක් හමු වීමෙන් උපාසක උපාසිකාවෝ බොහෝ පින් රැස් කරති. ශ්‍රද්ධාව හමු වීමෙන් බොහෝ පින් රැස් කරති. දිය යුතු දේ හමු වීමෙන් බොහෝ පින් රැස් කරති. දන් ලැබීමට සුදුස්සන් හමු වීමෙන් බොහෝ පින් රැස් කරති. නුඹලාට මේ ශ්‍රද්ධාව ද ඇත, මේ දිය යුතු දේ ද ඇත, මම ද ලැබීමට සුදුස්සෙක්මි. ඉදින් මම නොපිළිගන්නෙම් නම් මෙයින් නුඹලාට පින් ද නැත. මට මෙයින් අර්ථයක් නැත. නුඹලාට අනුග්‍රහ පිණිස ම පිළිගනිමි’.
එතැන් පටන් බොහෝ සිවුරු ද පිළිගනියි. බොහෝ පිඬුවා ද පිළිගනියි. බොහෝ සෙනසුන් ද පිළිගනියි. බොහෝ ගිලන්පස, බෙහෙත්, පිරිකර ද පිළිගනියි. යම් මෙබඳු මුව හැකිළීමෙක් මුව හකුළන බවෙක් විස්මය ගන්වන අයුරෙක් විස්මය කළ බවෙක් වේ ද, මේ ප්‍රත්‍යය ප්‍රතික්ෂේප සඞ්ඛ්‍යාත කුහන වස්තුව වේ.
මෙලොව ඇතැමෙක් පාපී ආශාවන් ඇත්තේ ආශාවෙන් මඩනා ලද්දේ බුහුමන් ලබන අදහස් ඇත්තේ මෙසේ මා හට බුහුමන් කරන්නේ යැයි සකසා ගමන් කරයි, සකසා සිටීම කරයි, සකසා හිඳීම කරයි, සකසා නිදා ගැනීම කරයි, ප්‍රාර්ථනා තබා ගෙන ගමන් කරයි, ප්‍රාර්ථනා තබා ගෙන සිටීම කරයි, ප්‍රාර්ථනා තබා ගෙන හිඳීම කරයි, ප්‍රාර්ථනා තබා ගෙන නිදා ගැනීම කරයි, සිත සමාධිමත් වූවකු ලෙස ගමන් කරයි, සිත සමාධිමත් වූවකු ලෙස සිටීම කරයි, සිත සමාධිමත් වූවකු ලෙස හිඳීම කරයි, සිත සමාධිමත් වූවකු ලෙස නිදා ගැනීම කරයි.
ජනයා හමුයෙහි ධ්‍යාන කරන්නෙකු සෙයින් හැසිරෙයි. යම් මෙබඳු ඉරියව් පිහිටුවීමෙක් පිහිටු වන අයුරෙක් සකස් කොට තැබීමෙක් මුව හැකිළී මෙක් මුව හකුළන අයුරෙක් විස්මය ගැන්වීමෙක් විස්මය ගන්වන අයුරෙක් විස්මිත බවෙක් වේ ද, මේ ගරු බුහුමන් ලබා ගැනීම පිණිස හැසිරීම් පැවැත්වීම නම් කුහන වස්තුව වෙයි.
මෙලොව ඇතැමෙක් පාපී ආශාවන් ඇත්තේ ආශාවෙන් මඩනා ලද්දේ මා ගැන ජනයා මෙසේ සලකන්නේ යැයි බුහුමන් කරවන සිත් ඇත්තේ ලෝකොත්තර දහම ඇසුරු කොට කතා කරයි. ‘යම් මහණෙක් මෙබඳු සිවුරක් දරා නම් ඒ මහණ මහත් ආනුභාව ඇත්තේ’ යැයි පවසයි. ‘යමෙක් මෙබඳු පාත්‍රයක් දරා නම්, ලෝහ තැටියක් දරා නම්, ඩබරාවක් (වතුර පෙරන උපකරණයක්) දරා නම්, පෙරහනක් දරා නම්, යතුරක් දරා නම්, වහනක් දරා නම්, බඳ පටියක් දරා නම්, උරහිසේ යමක් එල්ලන පටියක් දරා නම් ඒ මහණ මහත් ආනුභාව ඇත්තේ’ යැයි පවසයි.
යමෙක් හට මෙබඳු උපාධ්‍යයෙක් වේ නම් ඒ මහණ මහේශාක්‍ය යැයි පවසයි. යමෙක් හට මෙබඳු ආචාර්යයෙක්, මෙබඳු සමාන උපාධ්‍යයෝ, සමාන ආචාර්යයෝ, මිත්‍රයෝ, දැක පුරුදු මිත්‍රයෝ, භක්තිමත් මිත්‍රයෝ, සහයකයෝ වෙත් නම් ඒ මහණ මහේශාක්‍ය යැයි පවසයි.
යමෙක් මෙබඳු විහාරයක වෙසේ නම්, දික් පහයෙක වෙසේ නම්, සිව්රැස් පහයක, සඳලු ගෙයක, ගල්ගුහායෙක, ගල් ලෙණක, කිළියෙක, කුළුගෙයක, අටල්ලෙක, මහලෙක, දික්හලෙක, උවටන් හලෙක, මණ්ඩපයෙක, රුක් මුලෙක වෙසේ නම් ඒ මහණ මහත් ආනුභාව ඇත්තේ යැයි පවසයි. නොහොත් ඉතා හැකිළෙනුයේ ඉතා මුහුණ හකුළුවනසුලු වූයේ ඉතා විස්මය කරවනුයේ ඉතා ප්‍රලාප තෙපුල් කියනුයේ තමා ගේ මුඛ වශයෙන් ‘මේ මහණ මෙබඳු වූ ශාන්ත වූ මේ විහාරසමාපත්තීන් ලැබෙනසුලු’ යැයි අනුන් ලවා සම්භාවනා කරවන ලදුයේ එබඳු ගැඹුරු වූ සැඟ වු සියුම් වූ වැසුණු ලොකොත්තර වූ ශුන්‍යතා ප්‍රතිසංයුක්ත වූ කථා කියයි.
මෙබඳු වූ යම් මුහුණ හැකුළුමෙක් මුහුණ හකුළුවන බවෙක් විස්මය කැරැවීමෙන් විස්මය පැවැත්වීමෙක් කොහොන් බවෙක් වේ ද, මේ සිව්පසය වැඩිපුර ලබා ගැනීම පිණිස කෙළින් නොකියා වටින් පිටින් කීම නම් කුහන වස්තුව යැයි කියනු ලැබේ.