Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව් වනක් පිරිස සඳහා වූ පොදු කරුණු සහ උපදෙස් /

භික්ෂුවක් කෙරෙහි පැහැදීමෙන් පුද්ගලයෙකුට විය හැකි විපත් පහකි
එබැවින් සංඝ රත්නය සරණ යන්න

පුග්ගලප්පසාද සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 3 - පිටු අංක 442 - 443)

භික්ෂුවක් කෙරෙහි පැහැදීම නිසා යම් පුද්ගලයෙකුට විය හැකි විපත් පහකි.

  1. යම් පුද්ගලයෙක් භික්ෂුවක් කෙරෙහි අතිශයින් පැහැදෙයි. ඒ භික්ෂුව සංඝයාගෙන් නෙරපීමට තරම් සුදුසු වරදක් කරයි. සංඝයා විසින් ඔහු නෙරපනු ලබයි. ‘මාගේ ප්‍රියමනාප භික්ෂුව සංඝයා විසින් නෙරපන ලදි’ යැයි භික්ෂුන් කෙරෙහි නොසතුටු බවින් යුතු ව අන් භික්ෂූන් ඇසුරු නොකරයි. ඔහුට සද්ධර්මය නොඇසෙයි. නොඅසනුයේ සද්ධර්මයෙන් පිරිහෙයි.
  2. යම් පුද්ගලයෙක් භික්ෂුවක් කෙරෙහි අතිශයින් පැහැදෙයි. භික්ෂුව වරදක් කරයි. ඒ වරද නිසා සංඝයා විසින් ඔහු අගින් හිඳුවනු ලබයි (උපසම්පදා භික්ෂූන්ට සංඝාදිසේස නම් ශික්‍ෂා පද ඇත. ඒ ශික්‍ෂා පදයක් බිඳුණු විට පිරිසිදු වීම සඳහා සංඝයාට ඇප උපස්ථාන කිරීම, දානමානවල දී සංඝයාගේ අන්තිමයා ලෙස සිටීම ආදී දඬුවම් විඳිය යුතුය). ‘මාගේ අතිශයින් ප්‍රියමනාප භික්ෂුව සංඝයා විසින් අගට දමන ලදි’ යැයි සංඝයා කෙරෙහි අප්‍රසාදයට පත්වෙයි. අන් භික්ෂූන් ඇසුරු නොකරයි. ඔහුට සද්ධර්මය නොඇසෙයි. නොඅසනුයේ සද්ධර්මයෙන් පිරිහෙයි.
  3. යම් පුද්ගලයෙක් භික්ෂුවක් කෙරෙහි අතිශයින් ප්‍රසාදයට පත්වී සිටියි. එම භික්ෂුව ප්‍රදේශය හැර වෙන ප්‍රදේශයකට යයි. ‘මේ භික්ෂුව අතිශයින් මට ප්‍රියමනාපය. ඔහු වෙන ප්‍රදේශයකට ගියේය’ යැයි අන්‍ය භික්ෂූන් ඇසුරු නොකරයි. ඔහුට සද්ධර්මය නොඇසෙයි. නොඅසනුයේ සද්ධර්මයෙන් පිරිහෙයි.
  4. යම් පුද්ගලයෙක් භික්ෂුවක් කෙරෙහි අතිශයින් ප්‍රසාදයට පත්වී සිටියි. එම භික්ෂුව සිවුරු හැර යයි. ඔහු වෙන භික්ෂූන් ඇසුරු නොකරයි. ඔහුට සද්ධර්මය නොඇසෙයි. නොඅසනුයේ සද්ධර්මයෙන් පිරිහෙයි.
  5. යම් පුද්ගලයෙක් භික්ෂුවක් කෙරෙහි අතිශයින් ප්‍රසාදයට පත්වී සිටියි. එම භික්ෂුව කලුරිය කරයි. ඔහු වෙන භික්ෂූන් ඇසුරු නොකරයි. ඔහුට සද්ධර්මය නොඇසෙයි. නොඅසනුයේ සද්ධර්මයෙන් පිරිහෙයි.

මේ පුද්ගල ප්‍රසාදයේ සිදු විය හැකි විපත් පසයි.


බාගත ​කිරීමට