මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් ඉතා දිළිඳු වූ, ආහාර පාන අපහසුවෙන් ලබන, දුෂ්කර ව දුක සේ දිවි පවත්වන සැඩොල් පවුලක හෝ කුළු පොතු පවුලක හෝ වැදි පවුලක හෝ රියදුරු පවුලක හෝ කසල සෝදන පවුලක හෝ එබඳු වෙනත් පහත් කුලයක උපදියි. අවලස්සන, අප්‍රියශීලී, කුරුමිටි, ලෙඩ රෝග බහුල වූ අන්ධයෙක්, අත් කොරෙක් හෝ පා කොරෙක් වෙයි. ආහාර පාන, වස්ත්‍ර, යානා, මල්, සුවඳ විලවුන්, නිදන යහන්, ගෙවල් දොරවල්, ආලෝකය පිණිස පවතින උපකරණ ආදිය නොලබන්නෙක් වෙයි.
ඔහු කයෙන් ද දුසිරිත් කරයි. වචනයෙන් ද දුසිරිත් කරයි. සිතෙන් ද දුසිරිත් කරයි. එසේ කයෙන්, වචනයෙන්, සිතින් දුසිරිත් කොට, කය බිඳී මරණින් මතු සැප නැති දුක් ඇති නපුරු වැටීමක් වූ නිරයෙහි උපදියි.
මේ අඳුරෙන් අඳුරට යන පුද්ගලයා ය.

ඔහු කයෙන් සුසිරිත් (කුසල්) කරයි. වචනයෙන් සුසිරිත් කරයි. සිතෙන් සුසිරිත් කරයි. හෙතෙම සිත, කය, වචනයෙන් සුසිරිත් කර මරණින් පසු මනා ගති ඇති, දුක් නැති දෙව් ලොවට පැමිණෙයි.
මේ අඳුරෙන් එළියට යන පුද්ගලයා වෙයි.
මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් මහත් ධන ධාන්‍ය ඇති, මහත් භෝග ඇති, මහත් රන් රිදී ඇති, බොහෝ සිත් පිනවන දෑ ඇති, රජ, බමුණු හෝ ගෘහපති මහා සාර කුලයක හෝ එබඳු උසස් කුලයක උපදියි. ඔහු දැකුම්කලු ප්‍රසාද එළවන මනා රූ ඇති වෙයි. ආහාර පාන, වස්ත්‍ර, යාන වාහන, මල්, සුවඳ විලවුන් යහන්, නිවාස, පහන් ආදී ආලෝකමත් කරන ද්‍රව්‍ය පහසුවෙන් ලබන්නෙක් වෙයි.
ඔහු කයෙන් ද දුසිරිත් කරයි. වචනයෙන් ද දුසිරිත් කරයි. සිතෙන් ද දුසිරිත් කරයි. එසේ කයෙන්, වචනයෙන්, සිතින් දුසිරිත් කොට, කය බිඳී මරණින් මතු සැප නැති දුක් ඇති නපුරු වැටීමක් වූ නිරයෙහි උපදියි.
මේ එළියෙන් අඳුරට යන පුද්ගලයා ය.
මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් මහත් ධන ධාන්‍ය ඇති, මහත් භෝග ඇති,මහත් රන් රිදී ඇති, බොහෝ සිත් පිනවන දෑ ඇති, රජ, බමුණු හෝ ගෘහපති මහා සාර කුලයක හෝ එබඳු උසස් කුලයක උපදියි. ඔහු දැකුම්කලු ප්‍රසාද එළවන මනා රූ ඇති වෙයි. ආහාර පාන, වස්ත්‍ර, යාන වාහන, මල්, සුවඳ විලවුන් යහන්, නිවාස, පහන් ආදී ආලෝකමත් කරන ද්‍රව්‍ය පහසුවෙන් ලබන්නෙක් වෙයි.
ඔහු කයෙන් සුසිරිත් කරයි. වචනයෙන් සුසිරිත් කරයි. සිතෙන් සුසිරිත් කරයි. හෙතෙම සිත, කය, වචනයෙන් සුසිරිත් කර මරණින් පසු මනා ගති ඇති, දුක් නැති දෙව් ලොවට පැමිණෙයි.
මේ එළියෙන් එළියට යන පුද්ගලයා වෙයි.