එකං හි සච්චං න දුතියම්පි
යස්මිං පජා නො විවාදෙ පජානං,
නානා තෙ සච්චානි සයං ථුනන්ති
තස්මා න එකං සමණා වදන්ති
සත්‍යය එකක් ම වෙයි, දෙවැන්නෙක් නැත. ඒ සත්‍යය දන්නා වූ පුද්ගලයා විවාද නොකරන්නේ එබැවිනි. නමුත් එක් එක් මහණ බමුණෝ නොයෙක් සත්‍ය තමන් ම කියති. එබැවින් මහණ බමුණෝ එක් සත්‍යයක් නොකියති.
එක ම සත්‍යය නම් සියලු දුකෙන් මිදීම නම් වූ ඒ නිර්වාණය සහ ඒ පිණිස වන මාර්ගය වන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙයි. වෙනත් සත්‍යයක් නැත.
මේ සත්‍යය මනා ව දන්නාහු, අවබෝධ කළාහු, විශේෂයෙන් දැනගත්තාහු, සම්පූර්ණයෙන් අවබෝධ කළාහු කලහ නොකරන්නාහුය, ඩබර නොකරන්නාහුය, කෝලාහල නොකරන්නාහුය, විවාද නොකරන්නාහුය, අරගල නොකරන්නාහුය. ඔවුහු කලහ, ඩබර, කෝලාහල, විවාද, අරගල දුරු කරන්නාහුය, බැහැර කරන්නාහුය, නැවත නූපදීමට පත් කරන්නාහුය.
එහෙත් මෙම සත්‍යය නොදන්නා මහණ බමුණෝ නොයෙක් නොයෙක් සත්‍යයන් ගෙන ‘මෙය ම සත්‍ය වන්නේය, අන් සියල්ල බොරුයැ’ යි පවසති, කියති, දක්වති, ව්‍යවහාර කරති. මෙසේ ඔවුන් අනන් මනන් කියති, වෙන වෙන දේ සත්‍ය යැයි කියති.