Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / කර්ම සහ කර්ම විපාක /

මියගිය ඥාති හිතමිතුරන් වෙනුවෙන් දන් දීම ආදී කුසල් කිරීමෙන්
ඔවුන් ද තමන් ද සැපවත් කර ගත හැකි වෙයි

ජාණුස්සොණී සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, අඞ්ගුත්තර නිකාය 6 - පිටු අංක 490 - 499)

ජාණුස්සොණී බ්‍රාහ්මණයා බුදු රජාණන් වහන්සේ වෙත පැමිණ මෙසේ ඇසුවේය.

“පින්වත් ගෞතමයන් වහන්ස, ‘අපි මේ දානය පරලොව ගිය අපගේ ඥාතීන්ට ලේ ඥාතීන්ට ලැබේවා, මේ දානය පරලොව ගිය අපගේ ඥාතීන් ලේ ඥාතීන් ප්‍රයෝජනයට ගනිත්වා’ යි මළවුන් වෙනුවෙන් දන් දෙන්නෙමු, මළවුන් සිහි කර ගෙන දන් දෙන්නෙමු.

ඒ දානය පරලොව ගිය අපගේ ඥාතීන්ට, ලේ ඥාතීන්ට ලැබෙන්නේ ද? ඒ ඥාතීන්, ලේ ඥාතීන් ප්‍රයෝජනයට ගන්නේ ද?”

“බ්‍රාහ්මණය, සුදුසු ස්ථානයෙහි ඔවුන්ට එය පැමිණෙන්නේය, අස්ථානයෙහි නොපැමිණෙන්නේය.”

“පින්වත් ගෞතමයන් වහන්ස, සුදුසු ස්ථානය කවරේ ද? අස්ථානය කවරේ ද?”

“බ්‍රාහ්මණය, මෙලොව යම් කෙනෙක් සතුන් මරයි, සොරකම් කරයි, කාමය වරදවා හැසිරෙයි, බොරු කියයි, කේළාම් කියයි, නපුරු වචන කියයි, තේරුමක් නැති හිස් වචන කියයි, දැඩි අශාවන්ගෙන් යුක්ත වෙයි, අනුන්ට අයහපත පතන එනම් කුඩුකේඩු (පළිගන්නාසුලු, දුෂ්ට) සිතෙන් යුක්ත වෙයි, මිථ්‍යා දෘෂ්ටික වෙයි.

ඔහු මරණින් පසු නිරයට පැමිණෙයි. ඒ නිරි සතුන්ගේ යම් ආහාරයක් වේ ද ඔහු එය ආහාරයට ගන්නේය, එයින් යැපෙන්නේය.

මේ ද මළවුන් වෙනුවෙන් දෙන දානය නොලැබෙන අස්ථානයකි.

“එසේ ම බ්‍රාහ්මණය, මෙලොව යම් කෙනෙක් සතුන් මරයි, සොරකම් කරයි, කාමය වරදවා හැසිරෙයි, බොරු කියයි, කේළාම් කියයි, නපුරු වචන කියයි, තේරුමක් නැති හිස් වචන කියයි, දැඩි අශාවන්ගෙන් යුක්ත වෙයි, අනුන්ට අයහපත පතන එනම් කුඩුකේඩු සිතෙන් යුක්ත වෙයි, මිථ්‍යා දෘෂ්ටික වෙයි. ඔහු මරණින් පසු තිරිසන් ලෝකයට පැමිණෙයි. ඒ තිරිසන් සතුන්ගේ යම් ආහාරයක් වේ ද ඔහු එය ආහාරයට ගන්නේය, එයින් යැපෙන්නේය.

මේ ද මළවුන් වෙනුවෙන් දෙන දානය නොලැබෙන අස්ථානයකි.

එසේ ම බ්‍රාහ්මණය, මෙලොව යම් කෙනෙක් සතුන් නොමරයි, සොරකම් නොකරයි, කාමය වරදවා නොහැසිරෙයි, බොරු නොකියයි, කේළාම් නොකියයි, නපුරු වචන නොකියයි, තේරුමක් නැති හිස් වචන නොකියයි, දැඩි අශාවන්ගෙන් යුක්ත නොවෙයි, අනුන්ට අයහපත පතන එනම් කුඩුකේඩු සිතෙන් යුක්ත නොවෙයි. සම්මා දෘෂ්ටික වෙයි. ඔහු මරණින් පසු මිනිස් ලෝකයට පැමිණෙයි. ඒ මිනිසුන්ගේ යම් ආහාරයක් වේ ද ඔහු එය ආහාරයට ගන්නේය, එයින් යැපෙන්නේය.

මේ ද මළවුන් වෙනුවෙන් දෙන දානය නොලැබෙන අස්ථානයකි.

එසේ ම බ්‍රාහ්මණය, මෙලොව යම් කෙනෙක් සතුන් නොමරයි, සොරකම් නොකරයි, කාමය වරදවා නොහැසිරෙයි, බොරු නොකියයි, කේළාම් නොකියයි, නපුරු වචන නොකියයි, තේරුමක් නැති හිස් වචන නොකියයි, දැඩි අශාවන්ගෙන් යුක්ත නොවෙයි, අනුන්ට අයහපත පතන එනම් කුඩුකේඩු සිතෙන් යුක්ත නොවෙයි. සම්මා දෘෂ්ටික වෙයි. එනම් දස කුසල් කරයි.

ඔහු මරණින් පසු දෙව් ලොවට පැමිණෙයි. ඒ දෙවියන්ගේ යම් ආහාරයක් වේ ද ඔහු එය ආහාරයට ගන්නේය, එයින් යැපෙන්නේය.

මේ ද මළවුන් වෙනුවෙන් දෙන දානය නොලැබෙන අස්ථානයකි.

බ්‍රාහ්මණය, මෙලොව යම් කෙනෙක් සතුන් මරයි, සොරකම් කරයි, කාමය වරදවා හැසිරෙයි, බොරු කියයි, කේළාම් කියයි, නපුරු වචන කියයි, තේරුමක් නැති හිස් වචන කියයි, දැඩි අශාවන්ගෙන් යුක්ත වෙයි, අනුන්ට අයහපත පතන එනම් කුඩුකේඩු සිතෙන් යුක්ත වෙයි, මිථ්‍යා දෘෂ්ටික වෙයි.

ඔහු මරණින් පසු ප්‍රේත ලෝකයට පැමිණෙයි. ඒ ප්‍රේතයන්ගේ යම් ආහාරයක් වේ ද ඔහු එය ආහාරයට ගන්නේය, එයින් යැපෙන්නේය.

එසේ ම ඔහුගේ යම් මිතුරෙක් වේ ද, හඳුනන කෙනෙක් වේ ද, ඥාතියෙක් වේ ද, ලේ ඥාතියෙක් වේ ද ඔවුන් විසින් ඔහු වෙනුවෙන් යමක් දේ නම් ඔහු එයින් යැපෙයි, එයින් ජීවත් වෙයි.

මේ මළවුන් වෙනුවෙන් දෙන දානය මිය ගිය අයට ලැබෙන ස්ථානය වෙයි.

“පින්වත් ගෞතමයන් වහන්ස, ඒ පරලොව ගිය අපගේ ඥාතියා හෝ ලේ ඥාතියා එතැනට නොපැමිණේ නම් කවරෙක් ඒ දානය ප්‍රයෝජනයට ගන්නේ ද?”

“බ්‍රාහ්මණය, වෙනත් පරලොව ගිය ඥාතීන්, ලේ ඥාතීන් ද එතැනට පැමිණෙන්නේය. ඔවුන් ඒ දානය ප්‍රයෝජනයට ගන්නේය.”

“පින්වත් ගෞතමයන් වහන්ස, ඒ පරලොව ගිය අපගේ ඥාතීන් හෝ ලේ ඥාතීන් එතැනට නොපැමිණේ නම් කවරෙක් ඒ දානය ප්‍රයෝජනයට ගන්නේ ද?”

“බ්‍රාහ්මණය, මේ දීර්ඝ සංසාරයේ පරලොව ගිය ඥාතීන්ගෙන්, ලේ ඥාතීන්ගෙන් ඒ ස්ථානය හිස් වීමට අවස්ථාවක් නැත. සිදු විය නොහැක්කකි. එසේ ද වුවත් දන් දුන් දායකයාට එය ප්‍රයෝජනවත් වෙයි, එනම් දායකයාට ද කුසල් සිදු වන්නේය.”

“පින්වත් ගෞතමයන් වහන්ස, අස්ථානයෙහි ද මළවුන් වෙනුවෙන් දන් දීමෙහි, මළවුන් සිහි කර ගෙන දන් දීමෙහි උතුම් බවක්, ශ්‍රේෂ්ඨ බවක් ඇත්තේ යැයි වදාරන සේක් ද?”

“බ්‍රාහ්මණය, අස්ථානයෙහි ද මළවුන් වෙනුවෙන් දන් දීමෙහි, මළවුන් සිහි කර ගෙන දන් දීමෙහි උතුම් බවක්, ශ්‍රේෂ්ඨ බවක් ඇත්තේ යැයි වදාරමි.

මෙලොව යම් කෙනෙක් සතුන් මරයි, සොරකම් කරයි, කාමය වරදවා හැසිරෙයි, බොරු කියයි, කේළාම් කියයි, නපුරු වචන කියයි, තේරුමක් නැති හිස් වචන කියයි, දැඩි අශාවන්ගෙන් යුක්ත වෙයි, අනුන්ට අයහපත පතන එනම් කුඩුකේඩු සිතෙන් යුක්ත වෙයි, මිථ්‍යා දෘෂ්ටික වෙයි. එනම් දස අකුසල් කරයි.

ඔහු මහණ බමුණන්ට ආහාර පාන, වස්ත්‍ර, යාන, මල්, සුවඳ විලවුන්, සෙනසුන්, ආවාස, ආලෝකමත් කිරීමට අවශ්‍ය උපකරණ දෙන්නේ වෙයි. ඔහු මරණින් පසු ඇතෙක් බවට පැමිණෙයි. ඒ ඇතා ආහාර පාන, මල් දම්, නොයෙක් ආකාරයේ සැරසිලි ආදිය ලබනසුලු වෙයි.

ඔහු මෙලොව දී දස අකුසල් කළ බැවින් ඒ හේතුවෙන් මරණින් පසු ඇතෙක්, එනම් තිරිසනෙක් වී උපදියි. එසේ ම ඔහු මෙලොව දී මහණ බමුණන්ට ආහාර පාන, වස්ත්‍ර, යාන, මල්, සුවඳ විලවුන්, සෙනසුන්, ආවාස, ආලෝකමත් කිරීමට අවශ්‍ය උපකරණ දීම හේතුවෙන් ඒ ඇතාට ආහාර පාන, මල් දම්, නොයෙක් ආකාරයේ සැරසිලි ආදිය ලැබෙන්නේ වෙයි.

මෙලොව යම් කෙනෙක් සතුන් මරයි, සොරකම් කරයි, කාමය වරදවා හැසිරෙයි, බොරු කියයි, කේළාම් කියයි, නපුරු වචන කියයි, තේරුමක් නැති හිස් වචන කියයි, දැඩි අශාවන්ගෙන් යුක්ත වෙයි, අනුන්ට අයහපත පතන එනම් කුඩුකේඩු සිතෙන් යුක්ත වෙයි, මිථ්‍යා දෘෂ්ටික වෙයි. එනම් දස අකුසල් කරයි.

ඔහු මහණ බමුණන්ට ආහාර පාන, වස්ත්‍ර, යාන, මල්, සුවඳ විලවුන්, සෙනසුන්, ආවාස, ආලෝකමත් කිරීමට අවශ්‍ය උපකරණ දෙන්නේ වෙයි. ඔහු මරණින් පසු අශ්වයෙක් බවට පැමිණෙයි. ඒ අශ්වයා ආහාර පාන, මල් දම්, නොයෙක් ආකාරයේ සැරසිලි ආදිය ලබනසුලු වෙයි.

ඔහු මෙලොව දී දස අකුසල් කළ බැවින් ඒ හේතුවෙන් මරණින් පසු අශ්වයෙක් වී උපදියි. එසේ ම ඔහු මෙලොව දී මහණ බමුණන්ට ආහාර පාන, වස්ත්‍ර, යාන, මල්, සුවඳ විලවුන්, සෙනසුන්, ආවාස, ආලෝකමත් කිරීමට අවශ්‍ය උපකරණ දීම හේතුවෙන් ඒ අශ්වයාට ආහාර පාන, මල් දම්, නොයෙක් ආකාරයේ සැරසිලි ආදිය ලැබෙන්නේ වෙයි.

මෙලොව යම් කෙනෙක් සතුන් මරයි, සොරකම් කරයි, කාමය වරදවා හැසිරෙයි, බොරු කියයි, කේළාම් කියයි, නපුරු වචන කියයි, තේරුමක් නැති හිස් වචන කියයි, දැඩි අශාවන්ගෙන් යුක්ත වෙයි, අනුන්ට අයහපත පතන එනම් කුඩුකේඩු සිතෙන් යුක්ත වෙයි, මිථ්‍යා දෘෂ්ටික වෙයි. එනම් දස අකුසල් කරයි.

ඔහු මහණ බමුණන්ට ආහාර පාන, වස්ත්‍ර, යාන, මල්, සුවඳ විලවුන්, සෙනසුන්, ආවාස, ආලෝකමත් කිරීමට අවශ්‍ය උපකරණ දෙන්නේ වෙයි. ඔහු මරණින් පසු හරකෙක් බවට පැමිණෙයි. ඒ හරකා ආහාර පාන, මල් දම්, නොයෙක් ආකාරයේ සැරසිලි ආදිය ලබනසුලු වෙයි.

ඔහු මෙලොව දී දස අකුසල් කළ බැවින් ඒ හේතුවෙන් මරණින් පසු හරකෙක් වී උපදියි. එසේ ම ඔහු මෙලොව දී මහණ බමුණන්ට ආහාර පාන, වස්ත්‍ර, යාන, මල්, සුවඳ විලවුන්, සෙනසුන්, ආවාස, ආලෝකමත් කිරීමට අවශ්‍ය උපකරණ දීම හේතුවෙන් ඒ හරකාට ආහාර පාන, මල් දම්, නොයෙක් ආකාරයේ සැරසිලි ආදිය ලැබෙන්නේ වෙයි.

මෙලොව යම් කෙනෙක් සතුන් මරයි, සොරකම් කරයි, කාමය වරදවා හැසිරෙයි, බොරු කියයි, කේළාම් කියයි, නපුරු වචන කියයි, තේරුමක් නැති හිස් වචන කියයි, දැඩි අශාවන්ගෙන් යුක්ත වෙයි, අනුන්ට අයහපත පතන එනම් කුඩුකේඩු සිතෙන් යුක්ත වෙයි, මිථ්‍යා දෘෂ්ටික වෙයි. එනම් දස අකුසල් කරයි.

ඔහු මහණ බමුණන්ට ආහාර පාන, වස්ත්‍ර, යාන, මල්, සුවඳ විලවුන්, සෙනසුන්, ආවාස, ආලෝකමත් කිරීමට අවශ්‍ය උපකරණ දෙන්නේ වෙයි. ඔහු මරණින් පසු බල්ලෙක් බවට පැමිණෙයි. ඒ බල්ලා ආහාර පාන, මල් දම්, නොයෙක් ආකාරයේ සැරසිලි ආදිය ලබනසුලු වෙයි.

ඔහු මෙලොව දී දස අකුසල් කළ බැවින් ඒ හේතුවෙන් මරණින් පසු බල්ලෙක් වී උපදියි. එසේ ම ඔහු මෙලොව දී මහණ බමුණන්ට ආහාර පාන, වස්ත්‍ර, යාන, මල්, සුවඳ විලෙවුන්, සෙනසුන්, ආවාස, ආලෝකමත් කිරීමට අවශ්‍ය උපකරණ දීම හේතුවෙන් ඒ බල්ලාට ආහාර පාන, මල් දම්, නොයෙක් ආකාරයේ සැරසිලි ආදිය ලැබෙන්නේ වෙයි.

එසේ ම බ්‍රාහ්මණය, මෙලොව යම් කෙනෙක් සතුන් නොමරයි, සොරකම් නොකරයි, කාමය වරදවා නොහැසිරෙයි, බොරු නොකියයි, කේළාම් නොකියයි, නපුරු වචන නොකියයි, තේරුමක් නැති හිස් වචන නොකියයි, දැඩි අශාවන්ගෙන් යුක්ත නොවෙයි, අනුන්ට අයහපත පතන එනම් කුඩුකේඩු සිතෙන් යුක්ත නොවෙයි. සම්මා දෘෂ්ටික වෙයි. එනම් දස කුසල් කරයි.

ඔහු මහණ බමුණන්ට ආහාර පාන, වස්ත්‍ර, යාන, මල්, සුවඳ විලවුන්, සෙනසුන්, ආවාස, ආලෝකමත් කිරීමට අවශ්‍ය උපකරණ දෙන්නේ වෙයි.

ඔහු මරණින් පසු මිනිස් ලෝකයට පැමිණෙයි. ඒ මිනිසුන්ගේ යම් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස යන පංච කාමගුණයක් වේ ද ඒවා මනා ව ලබන්නේ වෙයි.

ඔහු දස කුසල් කළ හේතුවෙන් මිනිස් ලොව උපදියි. මහණ බමුණන්ට ආහාර පාන, වස්ත්‍ර, යාන, මල්, සුවඳ විලවුන්, සෙනසුන්, ආවාස, ආලෝකමත් කිරීමට අවශ්‍ය උපකරණ දීම හේතුවෙන් මිනිසුන්ට අයත් පංච කාමගුණ මනා ව ලබන්නේ වෙයි.

එසේ ම බ්‍රාහ්මණය, මෙලොව යම් කෙනෙක් සතුන් නොමරයි, සොරකම් නොකරයි, කාමය වරදවා නොහැසිරෙයි, බොරු නොකියයි, කේළාම් නොකියයි, නපුරු වචන නොකියයි, තේරුමක් නැති හිස් වචන නොකියයි, දැඩි අශාවන්ගෙන් යුක්ත නොවෙයි, අනුන්ට අයහපත පතන එනම් කුඩුකේඩු සිතෙන් යුක්ත නොවෙයි. සම්මා දෘෂ්ටික වෙයි. එනම් දස කුසල් කරයි. ඔහු මහණ බමුණන්ට ආහාර පාන, වස්ත්‍ර, යාන, මල්, සුවඳ විලවුන්, සෙනසුන්, ආවාස, ආලෝකමත් කිරීමට අවශ්‍ය උපකරණ දෙන්නේ ද වෙයි.

ඔහු මරණින් පසු දෙව් ලොවට පැමිණෙයි. ඒ දෙවියන්ගේ යම් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස යන පංච කාමගුණයක් වේ ද ඒවා මනා ව ලබන්නේ වෙයි.

ඔහු දස කුසල් කළ හේතුවෙන් දෙව් ලොව උපදියි. මහණ බමුණන්ට ආහාර පාන, වස්ත්‍ර, යාන, මල්, සුවඳ විලවුන්, සෙනසුන්, ආවාස, ආලෝකමත් කිරීමට අවශ්‍ය උපකරණ දීම හේතුවෙන් දෙවියන්ට අයත් පංච කාමගුණ මනා ව ලබන්නේ වෙයි.”

“පින්වත් ගෞතමයන් වහන්ස, විස්මය ජනකයි, පින්වත් ගෞතමයන් වහන්ස, පුදුමයි. පින්වත් ගෞතමයන් වහන්ස, ඇත්තෙන් ම මළවුන් වෙනුවෙන් දන් දීම කළ යුතුමය, මළවුන් සිහි කර ගෙන දන් දීම කළ යුතුමය. එය දායකයාට ද බොහෝ ප්‍රයෝජනවත් වෙයි.”

“බ්‍රාහ්මණය, එය එසේමය. බ්‍රාහ්මණය, එය එසේමය. එය දායකයාට ද බොහෝ ප්‍රයෝජනවත් වෙයි.”


බාගත ​කිරීමට