රත්තරනින් කළ ප්‍රාසාද සහිත, ගස්වලින් වටවූ, නෙළුම් වර්ගවලින් පිරුණු පොකුණක් ඇති, මිහිරි නාද පතුරවන කුරුළු කොබෙයියන් සහිත රුක් ගොමු පිරි, සුවඳ මල් සහිත වනාන්තර ඇති සුන්දර නුවරක් තිබිණි. එහි සතර දිශාව ම බබුළුවා ගෙන එන දාසියන් පන්සියයක් සිටි අතර මේ සියල්ලට ම අධිපති ප්‍රේතියට සැප පහසු යහන් ද තිබිණි.
මෙම ප්‍රේතිය මැදියම් රැයේ පිබිදී උද්‍යානයේ ඇති පොකුණක් ලඟට යන්නීය. ඒ පොකුණු තීරයේ සිට ගෙන සිටින විට මුඩු කන් ඇති බල්ලෙක් ඇයගේ සියලු අඟ පසඟ කා දමන්නේය. ශරීරයේ ඉතිරි වන්නේ ඇටසැකිල්ල පමණි. පසු ව ඒ පොකුණට බැස්ස විට නැවත සියලු අඟ පසඟින් පිරිපුන් සුන්දර තැනැත්තියක් බවට පත්වෙයි.
මෙසේ වීමට හේතුව කුමක්දැයි ඇයගෙන් විමසූ විට මෙසේ පිළිතුරු දුන්නාය.
“මම ශ්‍රද්ධාවන්ත උපාසකයෙකුගේ බිරිඳ වෙලා සිටියා. මා ස්වාමියා ඉක්මවා දුරාචාරයේ හැසිරුණා. ස්වාමියා මේක දැනගෙන මට අවවාද කළා. එවිට මම මහා දරුණු විදිහට දිවුරලා බොරු කිව්වා. මම කයින් හෝ සිතින් ඔබ ඉක්මවා යනවා නම් මුඩු කන් ඇති බල්ලා මගේ අඟ පසඟ කාලා දමන්න ඕන කියලා. එසේ බොරුවට දිව්රීමෙත්, දුරාචාරයේ හැසිරීමේත් විපාකය තමයි මේ.