ඉතා විරූපී, ඇට නහර පෑදුණු, නිර්වස්ත්‍ර ප්‍රේතියකගෙන් “ඔබ කවුද?” යැයි තිස්සා නම් තැනැත්තිය විසින් විමසන ලදි.
තමන් මත්තා බවත් පෙර ආත්මයේ ඔවුන් දෙදෙනා එක ම ස්වාමියෙකුගේ බිරින්දෑවරුන් ලෙස සිටි බවත් ප්‍රේතියගේ පිළිතුර විය.
ක්‍රෝධ කර, නපුරු වචන පවසා, කපටිකම් කර, ඊර්ෂ්‍යාකර ප්‍රේත ලෝකයේ ඉපදුණු බව ද පවසන ලදි.
ප්‍රේතියගේ ශරීරයේ පස් තැවරී ඇත්තේ ඇයි දැයි තිස්සා විසින් විමසන්නට යෙදුණි.
“පෙර භවයේ ඔබ දිය නා, හිස සෝදා, පිරිසිදු වස්ත්‍රවලින් සැරසුණා. මා ඊට වැඩියෙන් ලස්සනට සැරසුණා. ඔබ ස්වාමියා සමඟ කතා කරනවා දුටු මම ඊර්ෂ්‍යාවෙන් ඔබට පස්වලින් දමා ගැසුවා. මේ ඒ කර්මයේ විපාකයයි”. ප්‍රේතිය පිළිතුරු දුණි.
“කුමක් නිසා ද මුළු ඇඟම කස කසා ඉන්නේ” තිස්සා විමසුවාය.
“බෙහෙත් සෙවීමට අපි කැලයට ගිය වෙලාවෙ ඔබ බෙහෙත් සොයන අතර මම කසඹිලියා ගෙඩි කඩා ගෙනවිත් ඔබගේ ඇඳෙහි දැම්මා. ඒකෙ ප්‍රතිඵලය තමයි මේ” ප්‍රේතිය පැවසුවාය.
“මම දැන් අහන්නෙ ඔබ නිර්වස්ත්‍ර ව ඉන්නෙ ඇයි” නැවතත් තිස්සා විමසන ලදි.
“දවසක් නෑදෑයො යහළුවො එකතු වූ උත්සවයකට ඔබත් සැමියත් ගියා. මට ආරාධනා කළේ නැහැ. මම ඔබේ ඇඳුම් සොරකම් කළා. මේ තමයි ඒකෙ විපාකය”. ඇය පිළිතුරු දුණි.
නැවතත් තිස්සා මෙසේ අසන ලදි. “ඔබේ ශරීරයෙන් අසූචි ගඳ හමනවා. ඒ ඇයි?”
ප්‍රේතිය මෙසේ හේතුව පැවසුවාය. “ඔබේ සුවඳ වර්ග, මල් මාලා මම අසූචි වලක දැමුවා. ඒකයි මගේ ශරීරය අසූචි ගඳ”.
“මෙතරම් දුගී වීමට ඔබ කළ පව කුමක් ද?” තිස්සා විමසුවාය.
“ඒ කාලෙ තිබූ ධනය අප දෙදෙනාට ම සමාන ව තිබුණත් මම දන් දුන්නේ නැහැ. ඒ නිසා මම දුප්පත් වුණා. ඔබ මට ඒ කාලෙත් කිව්වා පව්කම් කළොත් සුගතියට නොයන බව” ඇය පිළිතුරු දුන්නාය.
ප්‍රේතියට කුමන ආකාරයේ උදව්වක් අවශ්‍යදැයි තිස්සා ඇසුවාය. භික්ෂූන් වහන්සේලා අට නමකට දානයක් දී පින් අනුමෝදන් කරන ලෙස ඇය ඉල්ලා සිටියාය. තිස්සා එම දානය දී පින් අනුමෝදන් කළ විගස ම ප්‍රේතියට ඒ විපාකය ලැබුණි. මහානුභාව සම්පන්න දෙව් දුවක් තිස්සා ඉදිරිපිට පහළ විය. දානයේ විපාකය ඇයට ලැබුණු බවත්, සතුටින් සිටින බවත්, ධර්මයෙහි හැසිරී, දන් දී දෙව් ලොවට එන ලෙසත් ඇය තිස්සාට පැවසුවාය.