සුරට්ඨ ජනපදයට අධිපති වූ පිංගලක නම් රජතුමා, දිනක් තම ජනපදයට එමින් සිටින අතර, ප්‍රේතයෙකු මැවූ සිත්කළු මාර්ගයකට අවතීර්ණ විය. එක් පුරුෂයෙකුට මේ මාර්ගයේ ඉදිරිපස පෙනෙන නමුත් පසුපස මාර්ගය නොපෙනෙන බව දැක බියට පත් ව රජුට එය පැවසුවේය. ප්‍රේතයන්ගේ ගඳ දැනෙන අතර නපුරු ශබ්ද ද ඇසෙන්නේය. රජතුමා සහ පිරිසට එය නපුරු මගක් බව වැටහිණි.
ඒ මාර්ගයේ තිබූ නුග රුකක් සෙවණේ රජතුමා නැවතුණි. එහි පැන් භාජනයක් සහ මිහිරි කැවුම් තිබුණි. එක්වර ම සියලු ආභරණ වලින් සැරසුණු දිව්‍යමය සිරුරක් හිමි කෙනෙක් රජු ලඟට පැමිණියේය. රජතුමාට පැන් සහ කැවුම් පිළිගැන්වීය. රජතුමා ඔහු කවුදැයි අසන ලදු ව තමා ප්‍රේතයෙකු යැයි ඔහු ප්‍රකාශ කළේය. තමන් කළ අකුසල් ඔහු මෙසේ පැවසුවේය.
“මම සුරට්ඨ දේශයේ සිටිය මිථ්‍යා දෘෂ්ටික, දුස්සීල, කෑදර, අනුන්ට නින්දා අපහාස කරන කෙනෙක්. දන් දීමේ, සිල් රැකීමේ විපාක නැහැ කියලා මම කිව්වා. දානයේ ඵල නැහැ කිව්වා. මව නැහැ, පියා නැහැ, වැඩිහිටියන් නැහැ කිව්වා. ඇප උපස්ථාන කිරීම වැඩක් නැහැ කිව්වා.
කෙනෙක් තවත් කෙනෙක් මරණවා හෝ හිස ගසා දමනවා කියන්නේ සත් ආකාර ධාතු ඇති ශරීරයේ සිදුරු අතරින් ආයුධයක් යාම විතරයි කියලා මම කිව්වා.
මේ ජීවිතේ තවත් ජීවිත වලට මාරු වෙවී ගිහින් අනුවණ, පණ්ඩිත හැමෝ ම මහා කල්ප අසූහතර ලක්ෂයක් ගෙවලා ඉවර උණාම, සංසාරේ ඉවරයි කියලයි මම කිව්වේ.
ඉතිං මේ වගේ මිථ්‍යාදෘෂ්ටි දරපු මම තව හය මාසයක් යන්න කලින් මැරිලා, කටුක වූ නිරයට වැටෙනවා. එහි කොන් සතරකුත් දොරවල් සතරකුත් තියනවා ඒවා කොටස්වලට බෙදලා තියෙන්නේ. වටේ ම යකඩ පවුරක් තියනවා. යකඩ පියනකින් වහලයි තියෙන්නේ.
ඒ අවීචි නිරයේ ඇවිලෙන ගිනිදැල් හරි ම සැරයි. ඒ යකඩ භූමියේ හැම තිස්සේම යොදුන් සියයක් පුරා ගිනිදැල් පැතිරිලා තියෙනවා. ඒ නිරයේ අවුරුදු ලක්ෂයක් පැහුනා ම එක පාරට මහා ශබ්දයක් ඇහෙනවා. එහි විඳවන්න තියන ආයුෂ අවුරුදු කෝටි ලක්ෂයක් වෙනවා.
යම් කෙනෙක් අවුරුදු කෝටි ලක්ෂයක් නිරයේ පැහිලා දුක් විඳිනවා නම්, ඒ ඔක්කොම අය මිථ්‍යාදෘෂ්ටික අය, දුස්සීල අය, ආර්යයන් වහන්සේලාට නින්දා අපහාස කරපු අය.
මගේ දුව බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක්. ඇය සිල්වත්, පෝයට සිල් ගන්නවා, දන් දෙනවා, පන්සිල් හරියට ම රකිනවා.
සිල්වත් භික්ෂූන් වහන්සේ නමක් ගමට පිණ්ඩපාතයේ වැඩිය වෙලාවේ ඇය පැන් පිරවූ බඳුනකුයි, මිහිරි කැවුමකුයි උන් වහන්සේට පූජා කළා. ඒ පින මට අනුමෝදන් කළා.
ඒ පින දීපු මොහොතේම මට එහි විපාකය ලැබුණා. වෙසමුණි රජතුමාට වගේ කැමති කැමති විදිහට සැප විඳින්න ලැබුණා.
මට ඔබ වහන්සේට කියන්න තියෙන්නේ, ඔබතුමාත් අඹු දරුවන් සමඟ ම තුන් ලොවට අග්‍ර වූ බුදු රජාණන් වහන්සේ සරණ යන්න. ධර්මය සරණ යන්න. බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන සෘජු සිත් ඇති ආර්යයන් වහන්සේලා සරණ යන්න. ඉක්මණින් පන්සිල් රකින්න පටන් ගන්න”.
ප්‍රේතයාගේ මේ කතාව ඇසූ රජතුමා ඔහුට ස්තුති කර ප්‍රේතයා කියූ ලෙස ම කරන බවට පොරොන්දු විය.