Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / කර්ම සහ කර්ම විපාක /

පන්සිය වසක් පුරා නිරුවත් ව සා පිපාසාවෙන් සිටි ප්‍රේතියක්
සැරියුත් තෙරණුවන් අනුමෝදන් කළ පිනෙන් දිව්‍යාංගනාවක් විය

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, පෙතවත්ථුපාළි, උබ්බරී වර්ගය - පිටු අංක 22 - 25)

විරූපී, කෙට්ටු, නහර හා ඇට පෑදුණු නිර්වස්ත්‍ර ව සිටින ප්‍රේතියක් දුටු සැරියුත් මහ රහතන් වහන්සේ ඇයගෙන් ඇසුවා මේ ආකාරයේ උපතක් ලැබීමට කළ කර්මය කුමක්දැයි.

ඇය පැවසුවා පෙර ආත්මයේදී දන් දීම සඳහා පෙළඹවීමට කිසි කෙනෙක් නොසිටි බවත්, ඒ නිසා පින් කිරීමට නොහැකි වූ බවත්.

ප්‍රේතිය සැරියුත් තෙරුන්ට පැවසුවා ඇයට අනුකම්පා කර දන් දී පින් අනුමෝදන් කරන ලෙස.

සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඇය කෙරෙහි අනුකම්පාවෙන් භික්ෂූන් වහන්සේලාට බත් පිඬකුත්, රියනක පමණ රෙදි කැබැල්ලකුත්, පැන් භාජනයකුත් පූජා කර ඒ පින ප්‍රේතියට අනුමෝදන් කළ සේක.

පින් දුන් සැණින් ඇයට එහි විපාකය පහළ විය. පිරිසිදු ශරීරයකින් යුතු ව, කසී සළුවලට වඩා උතුම් වස්ත්‍ර සහිත ව, විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී ඇය සැරියුත් තෙරනුවන් වෙත එළඹුණි. උන් වහන්සේ මේ දෙව් දුවගෙන් විමසුවා මෙලෙස ආනුභාව සම්පන්න ව බැබළි බැබළී සිටීමට ඇය කළ පින කුමක්දැයි. එවිට ඇය පැවසුවා උන් වහන්සේ දුන් දානයේ විපාකය ලෙස මේ සියල්ල ලැබුණු බව.

එක් බත් පිඬක් නිසා අවුරුදු දාහකට ප්‍රමාණවත් ප්‍රණීත රස මසවුළු ලැබූ බවත්, රියනක පමණ රෙදිකඩ නිසා කසී සළු, කම්බිළි, පට රෙදි, කපු රෙදි විශාල ප්‍රමාණයක් ලැබූ බවත්, පැන් බඳුනක් පූජා කිරීමෙන් සීතල දිය පිරුණු, සුවඳවත් මල් ඇති අලංකාර පොකුණක් පහළ වූ බවත් ඇය තෙරණුවන්ට පවසන ලදි.


බාගත ​කිරීමට