කෝලිය නැමති මහාමාත්යවරයෙක් එක්තරා ප්‍රේතයෙක් දුටුවේය. එම ප්‍රේතයා ගංගාවේ ජලය නොකළඹවා යයි. නිර්වස්ත්‍ර ඔහුගේ ශරීරයේ උඩ කොටස් ප්‍රේතයෙකුගේ මෙන් දිස්වේ. මල් මාලා පැළඳ ගෙන සිටි මෙම ප්‍රේතයාගෙන් කෝලිය ඇමති මෙසේ විමසුවේය.
“ඔබ කොහි ද යන්නේ? වාසය කරන්නේ කොහිද?”
චුන්දත්ථික නම් ගමට යන බව ඔහු පැවසුවේය.
නැව නවතා ඇති අවස්ථාවේ එක්තරා කරණවෑමි උපාසකයෙකුට බත්, අග්ගලා සහ වස්ත්‍ර යුගලක් දන් දුන් ඇමතිවරයා ඒ පින ප්‍රේතයාට අනුමෝදන් කළේය. පින් ගැනීමට හැකි ස්ථානයක ඉපදී සිටි ප්‍රේතයා ඒ පිනෙන් අලංකාර වස්ත්‍ර හැඳ, මල් මාලා දරා ගෙන පැමිණියේය.
මිය ගිය අය කෙරෙහි අනුකම්පාවෙන් නැවත නැවතත් දන් දී ඒ පින් ඔවුන්ට අනුමෝදන් කිරීමෙන් ඔවුන් සුවපත් වේ.
ඇතැම් ප්‍රේතයන් සිටින්නේ වැරහැලිවලින් විලි වසා ගෙනය. සමහරු කෙස්වලින් විලි වසා ගනිති. එමෙන් ම මොවුන් බත් සොයා ගැනීම පිණිස එක් එක් දිශාවලට දිව යති. එසේ දිව ගොස් ආහාර පාන නොලැබ නවතින අතර බඩගින්න නිසා සිහිසන් නොමැති ව බලවත් පීඩාවෙන් වේළී බිම වැටෙති. කලින් ලැබූ මිනිස් ජීවිතයේ දී කිසි ම කුසලයක් නොකළ ඔවුහු ගින්දරෙන් පිච්චෙන්නාක් මෙන් බඩගින්නෙන් පිච්චෙති.
ඒ ප්‍රේතයෝ මෙසේ දුක් වෙති.
“අපි ඉස්සර ගෘහණියෝ වෙලා සිටිද්දී, ඊර්ෂ්‍යාව ආදී පවිටු අදහස් තිබුණේ. දන් දෙන්න වස්තුව තිබුණත් ඒ පින්කම් කළේ නැහැ. බොහෝ ආහාර පාන තිබුණත් ඒවා සැඟවූවා. යහපත් මාර්ගයේ ගමන් කරන පැවිදි උතුමන්ට කිසි දෙයක් දුන්නේ නැහැ. අපි පින් කරන්න කැමති වුණේ ම නැහැ. කම්මැලි වෙලා හිටියා. නිතර ම කකා සිටි අපි බත් පිඬක්වත් අනුන්ට දුන්නත් ඒක ලබා ගන්නා කෙනාට අපහාස කළා. දැන් අපිට ඒ ගෙවල් දොරවල්, දාසයන්, ආභරණ ආදිය නැහැ. ඒවා වෙන අය පරිහරණය කරනවා. අපිට උරුම වුණේ දුක විතරයි.
මේ ප්‍රේත ලෝකයෙන් පස්සේ මිනිස් ලොව ඉපදුනත් උපදින්නේ දුගී දුප්පත් පවුල්වල. චණ්ඩාල කුලයේ දීන වෙලා උපදිනවා. නැවත නැවත උපදින්නෙත් ඒ කුලවලමයි. මෙය තමයි මසුරු සිත් ඇති අයට ලැබෙන උපත.
පෙර ජීවිත වල පින් කරගත්ත අය සිටිනවා. ඔවුන් දන් දෙනවා. මසුරු නැහැ. ඔවුන් නිසා තමයි දෙව් ලොව පිරෙන්නේ. නන්දන වනය බබුළුවන්නේ ඔවුන් තමයි. ඒ අය වෛජන්ත ප්‍රාසාදයේ කැමති සේ දිව්‍ය සැපයෙන් සතුටු වී, එතැනින් චුතවෙලා හොඳ ධන සම්පත් ඇති පවුල්වල උපදිනවා. ඉතා යසස් ඇති කුලවල ඉපදිලා, විශාල ප්‍රාසාදවල සැප සේ ජීවත් වෙනවා. සියලු සැප සම්පත් ලබනවා. මේවා ලැබෙන්නේ පින් නොකරපු අයට නොවෙයි. පින් කරපු අයටමයි. ඒ අය දෙව් ලොව ඉපදිලා සෝක නැති මනහර නන්දන වනයේ සැප විඳිනවා.
පින් කරගන්න බැරි වූ අයට මෙලොවදී වගේ ම පරලොවදීත් සැප ලැබෙන්නේ නැහැ. පින් කළ අය නම් දෙලොවදී ම සැප විඳිනවා”.