ගං තෙරක් ළඟ වැඩ සිටි භික්ෂූන් වහන්සේ නමක් වෙතට ඉතා විරූපී, භයංකාර ප්‍රේතියක් පැමිණියාය. ඉතා දිගු කෙස් කළඹින් ඇඟ වසා ගෙන සිටි ඇය ස්වාමීන් වහන්සේට මෙසේ පැවසුවාය.
“ස්වාමීනි, මං මැරිලා දැනට අවුරුදු පනස්පහක් වෙනවා. මේ කාලයට ම කාපු දෙයක් හෝ බීපු දෙයක් ගැන මට හැඟීමක් නැහැ. මට හරි ම පිපාසයි. ඒ නිසා පැන් ටිකක් දෙන සේක්වා”.
භික්ෂූන් වහන්සේ මෙසේ පැවසූ සේක.
“මේ ගංගාවෙ ඕනෑ තරම් පැන් තියනවා. සීතලයි. ඔය ගඟෙන් අරගෙන පානය කරන්න”.
එවිට ප්‍රේතිය මෙසේ පැවසුවාය.
“මම ගඟට පැන් බොන්න ගියාම ඒ වතුර ලේ බවට හැරෙනවා. ඒ නිසයි පැන් ඉල්ලුවේ”.
“ඔබ සිත, කය, වචනයෙන් කුමන අකුසලයක් ද කළේ මේ වගේ විපාකයක් ලැබෙන්න?” ස්වාමීන් වහන්සේ නැවතත් ප්‍රශ්න කළ සේක.
“මට හිටියා උත්තර කියලා තෙරුවන් සරණ ගිය ශ්‍රද්ධාවන්ත උපාසක පුතෙක්. එයා මගේ අකමැත්තෙන් ශ්‍රමණයන් වහන්සේලාට සිව්පසය පූජා කළා. මම එයාට පරිභව කළා, පරලොව දී ඕවා ඔක්කොම ලේ බවට පත් වේවා කියලා. මේ ඒ කර්මයේ විපාකය තමයි”.
ප්‍රේතිය ශෝකයෙන් උත්තර දුන්නාය.