පංචාල රටෙහි අධිපති බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් කාලයාගේ ඇවෑමෙන් මරණයට පත් විය. රජතුමාගේ බිරිඳ වූ උබ්බරී බිසව ආදාහනය කළ තැනට ගොස් ‘බ්‍රහ්මදත්ත ඔබ කොහි ද?’ යැයි කියමින් වැළපෙන්නීය. දිනක් එතැනට ධර්මයෙහි හැසිරෙන මුනිවරයෙක් පැමිණ ‘මේ සොහොන කාගේ ද? මැය හඬන්නේ කවුරු වෙනුවෙන් ද?’ යනුවෙන් විමසීය.
“මේ සොහොන බ්‍රහ්මදත්ත රජතුමාගේ. මේ වැළපෙන්නේ ඒ රජතුමාගේ බිරිඳ” යැයි එතන සිටි පිරිස පැවසුවෝය.
සෘෂිවරයා මෙසේ විමසුවේය.
“බ්‍රහ්මදත්ත නම් නම ඇති මිනිසුන් අසූහාරදාහක් මේ සොහොනේ දවා තිබෙනවා. දැන් ඔබ අඬන්නේ ඒ අයගෙන් කවුරු වෙනුවෙන් ද?”
“ස්වාමීනි, පංචාල රටේ චූලනී රජතුමාගේ පුතා වුණු, මම කැමති හැමදේ ම දුන්න ඒ ස්වාමියා වෙනුවෙන් තමයි මම ශෝක කරන්නේ”. උබ්බරී පිළිතුරු දුන්නාය.
මුණිවරයා ඇයට මෙසේ පැහැදිලි කළේය.
“ඔය සියලු රජවරු බ්‍රහ්මදත්ත තමයි. හැමෝ ම චූලනී රජ්ජුරුවන්ගේ පුතුන් හැටියටයි හිටියේ. ඒ හැම රජ කෙනෙකුට ම අනුපිළිවෙළින් අග මෙහෙසිය වුනේ ඔබමයි. ඉතිං කලින් හිටිය බ්‍රහ්මදත්ත රජවරු අතහැරලා අන්තිම රජ්ජුරුවන් ගැන පමණක් අඬන්නේ මොකද?”
උබ්බරී නැවත මෙසේ විමසුවාය.
“එතකොට මේ තරම් දීර්ඝ කාලයක් මම දිගට ම සසරේ ආවේ ස්ත්‍රියක් වෙලා ද?”
“ඔබ ස්ත්‍රියක් වෙලාත් තිබෙනවා. තිරිසන් යෝනියෙත් ඉපදිලා තිබෙනවා. ඔය විදිහට අතීත ආත්මභාවවල කෙළවරක් නැහැ”. මුනිවරයා පැවසීය.
එය ඇසූ උබ්බරීට සසරේ බියකරු බව වැටහිණි. ඇය මෙසේ පැවසුවාය.
“වතුර ඉහලා නිවා දානවා වගේ මගේ සියලු කාය චිත්ත පීඩා නිවී ගියා. මගේ පපුවේ තිබුණු ශෝකය නැමති උල ඔබ වහන්සේ උදුරා දැමුවා. දැන් මම අඬන්නේ නැහැ”.
ඒ ශ්‍රමණයන් වහන්සේගේ වචනවලට හොඳින් සවන් දුන් ඇය පාත්‍රා සිවුරු ගෙන පැවිදි වූවාය. පැවිදි වී බඹලොව ඉපදීම පිණිස මෙත් වැඩුවාය. ගම්, නියම් ගම්, රාජධානි පාසා සැරිසැරූ ඇය අවසානයේ කලුරිය කර ස්ත්‍රීභාවය ඉක්මවා බඹලොව ඉපදුණි.