නිර්වස්ත්‍ර, විරූපී, කෙට්ටු, නහර පෑදුණු, ඉල ඇට ඉලිප්පුණු ප්‍රේතයෙක් දුටු වෙළඳ පිරිසක් “ඔබ කවුද?” යැයි විමසන ලදි.
ප්‍රේතයා තමන් පිළිබඳව මෙසේ ප්‍රකාශ කළේය.
“මම දුකට පත් පෙරේතයෙක්. පව් කරලා මිනිස් ලෝකයෙන් ප්‍රේත ලෝකයට ආවෙ”.
“මොන වගේ පව් කරලා ද ප්‍රේත ලෝකයේ ඉපදුණේ?”
වෙළෙන්දෝ නැවත ප්‍රශ්ණ කළෝය.
ප්‍රේතයා මේ ආකාරයට පිළිතුරු දුන්නේය.
“මිනිස් ලෝකයේ සිටිද්දි මම සිටුවරයෙක් වෙලා හිටියේ. මට අමු රන්, මුතු, රිදී, වෛරෝඩි මැණික් ආදිය සෑහෙන්න තිබුණා. මෙච්චර ධනය තිබිලත් මට කවදාවත් දන් දෙන්න සිතක් ඇති වුනේ ම නැහැ. මම ආහාර ගත්තෙත් දොර ජනෙල් වහගෙන. යාචකයො එයි කියලා. මට ශ්‍රද්ධාව තිබුණෙත් නැහැ. මසුරුයි, කෑදරයි. අනුන්ට අපහාස කරනවා. ඒ වගේ ම දන් දෙන අය කරුණු කියලා එයින් වළක්වනවා. දන් දීමේ, සිල් රැකීමේ විපාකයක් නැහැ කියලා මං කිව්වා. පැන් පොකුණු, ළිං, උයන් වතු ආදිය වසා දැමීමට කටයුතු කළා. දුෂ්කර මාර්ගවල තිබුණු ඒදඬු විනාශ කළා. ඒ වගේ පව් කළා විතරමයි. පිනක් නම් කළේ ම නැහැ.
මනුස්ස ලෝකයෙන් චුත වූ මම ඉපදුණේ ප්‍රේත ලෝකයේ. මා මිය ගිහින් දැනට අවුරුදු පනස්පහක් වෙනවා. මෙතෙක් මම කෑම කාලාවත්, වතුර බීලාවත් නැහැ.
දන් නොදී සිටීම තමයි විනාශය. යම් විනාශයක් ඇත් ද ඒකමයි දන් නොදී සිටීම. ප්‍රේතයෝ තමයි මේ ගැන හොඳින් ම දන්නේ. මට පෙර ආත්මයේ ධනය තිබිලත් දන් දුන්නේ නැහැ. දැන් මම පසු තැවෙනවා. ඒ වගේ ම ඒකෙ විපාකය විඳිනවා.
තව මාස හතරකින් මම ප්‍රේත ලෝකයෙන් චුත වෙලා කටුක වූ, ඝෝර වූ අවීචි මහා නිරයට වැටෙනවා. ඒ නිරයේ කොන් හතරක දොරටු හතරක් තියනවා. කොටස් වශයෙන් ගානට බෙදලා තියෙන්නේ. වටේ ම යකඩ පවුරක් තියනවා. ඒක වහලා තියෙන්නෙත් යකඩ පියනකින්. ඒ අවීච් නිරයේ ගිනි දැල් හරි ම සැරයි. නිතර ම යොදුන් සියයක් දුරට ගිනි දැල් පැතිරිලා තියෙන්නේ. මම ඒකෙ ඉපදිලා දීර්ඝ කාලයක් දුක් විඳිනවා. ඒ නිසා ගොඩක් දුකින් ඉන්නේ.
පින්වත්නි, මම ඔබ හැම දෙනාට කියන්නේ හොර රහසේවත් එළිපිටවත් පව් කරන්න එපා. අහසට නැගලා පැනලා ගියත් විපාක වලින් ගැලවෙන්න බැහැ. ඒ නිසා මවට පියාට හොඳට සලකන්න. කුල දෙටුවන්ට, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සලකන්න. එහෙ ම කරලා සුගතියේ ම උපදින්න”.