වජ්ජීන්ට අයත් විශාලා මහ නුවර අම්බසක්ඛර නම් ලිච්ඡවි රජ කෙනෙක් වාසය කළේය. ඔහු නගරයෙන් පිටත සිටි ප්‍රේතයෙකු දුටුවේය. රජතුමා ඒ ප්‍රේතයාගෙන් කරුණු දැනගැනීම පිණිස මෙසේ ඇසීය.
“මේ මිනිසා මහත් දුකක් විඳිනවා. ඉස්සර මනුස්ස ජීවිතේ එකට සිටි කවුරුත් දැන් නැහැ. විනාශයට පත් වුනාම මිතුරන් ඈත් වෙනවා.
මොහුට නිදා ගැනීමක් ද නැත, හිඳීමක් ද නැත, ඉදිරියට හෝ ආපසු යෑමක් ද නැත, ආහාර පාන, ඇඳුම් පැළඳුම් ද නැත.
ලේ පිරුණු සිරුරින් යුතු ව උලක් උඩ නග්ගවා සිටින, ජීවිතය අවිනිශ්චිත පුද්ගලයා අද හෝ හෙට මැරෙන්නේය.
ප්‍රේතය, නුඹ විසින් මෙතරම් දුකට පත්වුණු උලෙහි ඉන්නා මේ මිනිසාට ‘පින්වත, ජීවත් වෙන්න. ජීවතය ම නුඹට ශ්‍රේෂ්ඨ වන්නේය’ යැයි කියයි. එයට හේතුව කුමක් ද?” යැයි රජතුමා ප්‍රේතයාගෙන් විමසුවේය.
“රජතුමනි, මේ පුරුෂයා මගේ ලේ ඥාතියෙක්. මේ පුද්ගලයා මරණින් පසු භයානක වූ මහා නිරයේ උපදින්නේය.
මහා නිරයේ ඇති මහත් දුකට වඩා මේ උල උඩ ඉඳීමෙන් ලැබෙන දුක ඉතා ස්වල්පයකි. ඒකයි ජීවත් වෙන්න කියන්නේ” යැයි ප්‍රේතයා පිළිතුරු දුන්නේය.
මේ ප්‍රේතයාගෙන් රජතුමා නැවතත් මෙසේ ඇසුවේය.
“ඔබ මේ උල සිටුවා ඉන්න පුද්ගලයා ලඟට ආවේ සුදු අශ්වයන් යෙදූ අලංකාර යානයකින්. ඒක ලැබුනේ කුමන කර්ම විපාකයකට ද?”
ප්‍රේතයා මෙසේ පැවසුවේය.
විශාලා මහ නුවර මඩ සහිත මාර්ගයක මැද මඩ වළක් තිබුණා. මං යහපත් අදහසින් සුදු පැහැ ගැන්වුණු ගවයෙකුගේ හිස් කබලකින් ඒ මඩ වළ වැසුවා. ඒ විපාකයට තමයි මේ යානය ලැබුණේ”.
“මහානුභාව ඇති ප්‍රේතය, ඔබේ සිරුරේ පැහැයෙන් හැම දිහාව ම බබළනවා. ඔබේ ශරීරයෙන් හමන සුවඳ හැම දිශාවේ ම පැතිරෙනවා. ඔබ දිව්‍ය ඉර්ධියට පත් වෙලයි ඉන්නේ. නමුත් ඔබේ ඇඟේ නූල් පොටක්වත් නැහැ. මේ විපාකය ලැබුණේ මොන වගේ කර්මයකට ද?”
නැවතත් රජතුමා ප්‍රශ්ණ කළේය.
“මං ක්‍රෝධ කළේ නැහැ. හැම තිස්සේම ගත කළේ පහන් සිතින්මයි. මිනිස්සුන්ට කතා කළේ මිහිරි වචනයෙන්. මගේ සිරුරෙන් පැහැය විහිදෙන්නේ ඒ විපාකයෙනුයි.
ධර්මයේ හැසිරුණු අයගේ යසසත්, කීර්තියත් දැකලා මම එය වර්ණනා කළා. ඒ කර්මයේ විපාකය ලෙසයි මගේ සිරුරෙන් දිව්‍ය සුවඳ හමන්නේ.
මගේ යහළුවන් නාන තොටේ නාමින් සිටියා. මා හොරකමට නොව විහිළුවට ඔවුන්ගේ වස්ත්‍ර සැඟවූවා. මට නිර්වස්ත්‍රව ඉන්න වුණේ ඒ නිසයි. සෙල්ලමට හරි පවක් කළොත් ඒකට මුහුණ දෙන්න වෙනවා. ඉතිං නපුරු සිතින් කරන පව්වල විපාක මොන තරම් දරණු වේවි ද?”
ප්‍රේතයා තමන් කළ පින් පව් මෙසේ විස්තර කළේය.
රජතුමා නැවතත් මෙසේ ප්‍රශ්න කළේය.
“දැන් ඔබ පින් පව් ගැන කිව්වා. නමුත් පින් පව්වල විපාක තිබෙනවා කියලා විශ්වාස කරන්නේ කොහොමද?”
ප්‍රේතයා මෙසේ පිළිතුරු දුණි.
“පින් පව්වල විපාක තිබෙන නිසා තමයි සුගතියයි, දුගතියයි කියලා දෙකක් තියෙන්නේ. ඒ වගේ ම මිනිස් ලෝකෙ උස් පහත් වෙනස්කමක් තියෙන්නෙත් ඒ නිසයි”.
ප්‍රේතයාට වස්ත්‍ර ලබා දිය හැකි ආකාරයක් ඇතොත් පවසන ලෙස රජතුමා දන්වා සිටියේය. එවිට ප්‍රේතයා මෙසේ පැවසුවේය.
“මේ ලඟපාත කප්පිනක කියලා රහත් භික්ෂූන් වහන්සේ නමක් ඉන්නවා. උන් වහන්සේ ශාන්තයි. කෙලෙස් නැහැ. ආශා රහිතයි. දුකෙන් නිදහස් වෙලයි ඉන්නේ. කෙලෙස් හුල් ඉවත් කරලයි ඉන්නේ. ඒ රහතන් වහන්සේට එක වස්ත්‍රයක් හරි, වස්ත්‍ර දෙකක් හරි මා වෙනුවෙන් පූජා කරලා ඒ පින මට අනුමෝදන් කරන්න”.
රජතුමාද පිරිවර සමඟ භික්ෂූන් වහන්සේ වැඩ සිටි තැනට ගියේය. සුදුසු අවස්ථාව බලා උන් වහන්සේට වැඳ තමා ආ කාරණය සැළ කළේය.
කප්පිනක තෙරණුවෝ රජතුමා මින් පෙර ශ්‍රමණයන් වහන්සේලාට කරදර කළ ආකාරය සිහිපත් කළ සේක. රජතුමා වරද පිළිගෙන නැවත නොකරන බවට පොරොන්දු විය.
කප්පිනක තෙරණුවන් වහන්සේ වස්ත්‍ර පිළිගත් සේක. එකෙනෙහි ම ප්‍රේතයා උදාර රූප සම්පත්තියෙන් යුක්ත ව, ලස්සන වස්ත්‍රවලින් සැරසී, පිරිවර සමඟ, අජානීය අශ්වයෙකු පිට නැගී පෙනී සිටියේය.
රජතුමා කර්මය සහ ඒ මොහොතේ ම එම කර්මයේ විපාකය ද දැක බොහෝ සතුටු විය. රජතුමා ප්‍රේතයා වෙත පැමිණ “මහණ බමුණන්ට මම දන් දෙන්නෙමි. මගේ නොදිය හැකි කිසි ම දාන වස්තුවක් නැත. ප්‍රේතය නුඹ මට බොහෝ උපකාර කරන ලදි” යැයි ප්‍රකාශ කළේය.
ප්‍රේතයාගේ උපදෙස් පරිදි රජතුමා විසින් උලෙහි සිටි මිනිසා ද නිදහස් කළේය. ඔහුට ප්‍රතිකාර කිරීමට ද සැලැස්වීය.
පසු ව රජතුමා උලෙහි සිටි පුද්ගලයා ද සමඟ කප්පිනක තෙරණුවන් බැහැ දැක නිරයෙන් නිදහස් වන මාර්ගය විමසා සිටියේය. කප්පින තෙරණුවෝ ඔවුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ සේක.
අම්බසක්ඛර ලිච්ඡවි රජතුමා ශ්‍රද්ධාවන්ත උපාසකයෙක් බවට පත් විය. උල මත සිටි පුද්ගලයාද කප්පිනක ස්වාමීන් වහන්සේ වෙත ගොස් පැවිදි විය. ඔහු රහත් ඵලයට පත් වූ අතර රජතුමා සෝවාන් විය.