Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / කර්ම සහ කර්ම විපාක /

රාත්‍රියට දිව්‍ය සැප වින්දත් දහවලට අමු සොහොනේ දුක් විඳීමට සිදු විය

දෙවැනි මිගලුද්දක ප්‍රේත වස්තුව ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, ඛුද්දක නිකාය, පෙතවත්ථුපාළි, චූළ වර්ගය - පිටු අංක 94 - 97)

දිව්‍යමය කූටාගාරවල හා ප්‍රාසාදවල, දිගු ලොම් ඇති කොඳු පලස් අතුරන ලද යහන්වල, පංච තූර්ය නාදය සුන්දර ලෙස වාදනය වන විට ඔහු සතුටු වෙයි. ඒ රාත්‍රී කාලයේය.

රාත්‍රී කාලයෙන් පසු හිරු උදා වන විට ඔහු සොහොනෙහි අතහැර දැමෙයි. එවිට ඔහු බොහෝ දුකට පත්වෙයි. මේ ප්‍රේතයාගෙන් මෙසේ වීමට කරුණු විමසූ විට මේ ආකාරයෙන් පිළිතුරු දුන්නේය.

“මම රජගහ නුවර මුව වැද්දෙක් වෙලා හිටියේ. කිසි ම සංවරකමක් තිබුණේ නැහැ. හරිම දරුණුයි. මට හිටියා හරි සුහද යාළුවෙක්. ඔහු ශ්‍රද්ධාවන්ත උපාසකයෙක්. ඔහුට හිටියා හිතවත් භික්ෂූන් වහන්සේ නමක්. ඒ භික්ෂූන් වහන්සේ ගෞතම බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්.

ඒ භික්ෂුව මා ගැන අනුකම්පාවෙන් නැවත නැවත පව් වලින් වළක්වන්න උත්සාහ කළා. ‘පව් කරන්න එපා. අපායෙ යන්න එපා’ කියලා කිව්වා. මරණින් මතු සැප ලබන්න කැමති නම් දුස්සීල බවක් වන්නාවූ ප්‍රාණඝාතයෙන් වළකින්න කිව්වා.

නමුත් බොහෝ කාලයක් පව් වලට ඇලිලා, බුද්ධියක් නැති ව හිටිය මම ඒ අවවාද පිළිගත්තේ නැහැ.

ඒ ප්‍රඥාවන්ත උපාසකතුමා අනුකම්පාවෙන් නැවත මට මෙහෙම කිව්වා. ‘නුඹ දවල් කාලයේ සතුන් මරනවා නම් අඩු ගණනේ රාත්‍රියටවත් සංවර වෙන්න’ කියලා.

මම ඒක පිළිගෙන දවල් කාලයේ සතුන් මරලා රෑට සතුන් මැරීමෙන් වෙන් වෙලා සංවර වුණා. ඒ නිසයි මට රෑට දිව්‍ය සැප ලැබෙන්නේ. දවල්ට දුක් අනුභව කරනවා. දවල්ට බල්ලන් බද්ධ වෛරයෙන් මෙන් මාව පන්නා ගෙන ඇවිත් වට කර ගෙන කනවා”.


බාගත ​කිරීමට