Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / කර්ම සහ කර්ම විපාක /

මිනිස් ලොව දී පින් කළ උපාසකයෙක්
තව්තිසා දෙව් ලොව සැප විඳින අතර
ඔහුගේ බිරිඳ මහණ බමුණන්ට අපහාස කර
සැමියා බොරුවෙන් රවටාපව්කම් කර
සංසවක නම් නිරයේ පැසෙයි

රේවතී ප්‍රේතවස්තුව ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, පෙතවත්ථු පාළි, මහාවර්ගය - පිටු අංක 142 - 147)

ලේ පැහැති ඇස් ඇති යම දූතයන් වූ යක්ෂයන් දෙදෙනෙක් රේවතී නම් තැනැත්තියගේ අත්වලින් අල්වා ගෙන නිරයට ගෙන යති. ඒ යන ගමනේ දී තව්තිසා දෙව් ලොව එක් සුන්දර දිව්‍ය විමානයකට ඇය රැගෙන ගියෝය.

එම විමානය රත්තරන් දැලෙන් නිමවා තිබූ අතර හිරු රැස් සේ සිත්කළුය. එහි දිව්‍ය ජනයා ද හිරු රැස් සේ බබළයි. සුවඳ සඳුන් තැවරූ සිරුරු ඇති දිව්‍ය අප්සරාවන් නිසා විමානය ඇතුළත් පිටත් අලංකාර වී ඇත. හිරු මඩලේ එළියට සමාන එළියක් ඒ විමානයෙන් විහිදෙයි.

මේ දිව්‍ය විමානය දුටු රේවතිය ඒ විමානය අයිති කාහටදැයි විමසුවාය. මෙම විමානය බරණැස් නුවර සිටි ලෝභ නැති, දානපති නන්දිය නම් උපාසකයාගේ බව ඔවුහු පැවසුවෝය.

“මම තමයි ඔහුගේ බිරිඳ. සියලු පවුල්වලට ඉසුරුමත් ගෘහණිය වුනේ මම. ඉතිං මම කැමතියි ස්වාමියාගේ විමානයේ ඉන්න. අපාය දකින්නවත් මම කැමති නැහැ”. රේවතී මෙසේ පැවසුවාය.

යම දූතයෝ මෙසේ කරුණු දැක්වූවෝය.

“පාපී තැනැත්තිය, අර තිබෙන්නේ නුඹගේ නිරයයි. තී මනුස්ස ලෝකයේ දී කිසි පිනක් කළේ නැහැ. මසුරු අය, අනුන් කුපිත කරවන අය, පවිටු ජීවිත ඇති අය දෙවියන් සමඟ එකතු වෙන්නේ නැහැ”.

රේවතියට අසූචි, මුත්‍රා ආදී මහා ජරාවක් දක්නට ලැබිණි. එමෙන් ම එහි ගඳ ද දැනුණි. ඒ කුමක්දැයි ඇය ප්‍රශ්ණ කළාය.

“මේක තමයි සංසවක නම් නිරය. මේක හරි ම ජඹුරයි. මිනිසුන් සියයකට වඩා ජඹුරයි. මෙහි තමයි නුඹ අවුරුදු දාහක් පැහෙන්නේ”

යම දූතයෝ පිළිතුරු දුන්නෝය.

“මම කළ නරක දේවල් මොනවා ද මේ වගේ නිරයක පැහෙන්න?”

රේවතී දුකෙන් විමසුවාය.

යම දූතයෝ ඇය කළ පව්කම් සිහිගැන්වූහ.

“නුඹ ශ්‍රමණයන් වහන්සේලා, බමුණන්, යාචකයන් වගේ අයට බොරුවෙන් වංචා කළා. ඒ පාපය රැස් කළේ නුඹයි. දැන් ඉතිං මෙහි පැහෙන්න වෙනවා. ඒකෙ අත් කපලා දානවා. පාදත් කපලා දානවා. කණුත් කපනවා. නාසයත් කපනවා. ඒ වගේ ම කපුටන් රංචු ගැහිලා තුඩෙන් විද විද මස් කනවා”.

“අනේ මාව මනුස්ස ලෝකෙට ගෙනියන්න. මම වැඩියෙන් පින් කරන්නම්. සිල් රකින්නම්. ඉඳුරන් දමනය කර ගන්නම්”. රේවතී වැළපුනාය.

“නුඹ දැන් ප්‍රමාද වැඩියි. තමන් කළ දේවල් වලට තමයි විපාක ලැබෙන්නේ” යම දූතයෝ පැවසුවෝය.

“දඬු මුගුරු අත් හළ, සිල්වතුන්ට දන් දෙන, වස්ත්‍ර පූජා කරන, සෙනසුන් පූජා කරන අය තමයි දෙව් ලොවට යන්නේ. මසුරු, කිපෙන, පවිටු ගති ඇති උදවිය දෙව්ලොව යන්නේ නැහැ.

ඒකාන්තයෙන් ම මම මේ ලෝකෙන් චුත වෙලා මිනිස් ලොව උපදිනවා. එවිට මම අනුන් විසින් මගෙන් ඉල්ලන්නට සුදුසු කෙනෙක් වෙනවා. සිල්වත් වෙනවා. දන් දෙනවා. චරිතවත් වෙනවා. ඉන්ද්‍රියයන් දමනය කර ගන්නවා. වැඩියෙන් පින් කරනවා. දුෂ්කර මං මාවත්වල ඒදඬු පාලම් හදනවා. ගස් වැල් රෝපනය කරනවා. පිංතාලි හදනවා. පැන් පොකුණු හදනවා. සතුටු සිතින් ම ඒ පින්කම් කරනවා. තව, සතර පෝයට සිල් ගන්නවා. ඒ වගේ ම ඒ උපෝසථය හොඳින් ආරක්ෂා කරනවා. දන් දෙන්න නම් පමා වෙන්නේ නැහැ. මං පින්වල විපාක ඇස් දෙකෙන් ම දැක්කා”.

මෙසේ නන් දොඩවමින් වැළපෙන රේවතිය බියෙන් සැළුණාය. එවිට යම දූතයෝ ඇයගේ දෙපයින් අල්ලා යටිකුරු කර ඝෝර වූ සංසවක නිරයට හෙළුවෝය.


බාගත ​කිරීමට