එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වසන කල්හි භික්ෂූන් උදෙසා මෙය වදාළ සේක.
අනුවණ මෝඩයාට අත්වන දුක
“මහණෙනි, මෝඩයාගේ (බාලයාගේ) ඒ මෝඩ බව පෙන්වන ලකුණු, නිමිති, චරියා, හැසිරීම් තුනක් ඇත. එනම්,
එසේ මෝඩයා නපුරු ලෙස සිතන්නේ, කියන්නේ, කරන්නේ නැත්නම්, නුවණැත්තන් විසින් මේ දුෂ්ට මෝඩයෙක් යැයි හඳුනා ගනු ලබන්නේ කෙසේ ද?
එසේ මෝඩයා නපුරු දේ සිතන, කියන, කරන නිසා ඔහු මෝඩ අසත්පුරුෂයෙකු යැයි නුවණැත්තෝ හඳුනා ගනිති.
මෝඩයා මේ ජීවිතයේ දී ම තුන් අයුරකින් දුක් විඳියි.
බාලයා සිතින්, කයින්, වචනයෙන් දුසිරිත් කොට මරණින් පසු කටුක දුක් ඇති, නපුරු ගති ඇති නිරයට පැමිණෙයි. එහි දුක් ගැන උපමාවකින් වත් දැක්වීම පහසු නොවෙයි”.
එසේ වදාළ කල්හි එක භික්ෂුවක් “ස්වාමීනි, උපමාවකින් දක්වන්නට හැකි ද?” යැයි ඇසීය.
“මහණ, රජතුමා විසින් යම් පාපකාරී සොරෙක් අල්ලා ගෙන මෙසේ දඬුවම් දෙයි.
ඔහුට උදය වරුවේ සිය වරක් කිණිසිවලින් ඇන තුවාල කරන්න යැයි පවසයි. දහවල රාජ පුරුෂයන් කැඳවා හොරාගේ තත්වය අසා ජීවත් වන බව දැන, දහවල ද සිය වරක් කිණිසිවලින් ඇන තුවාල කරන්නැයි පවසයි. මෙසේ ම සවස ද ජීවත් වන බව දැන කිණිසිවලින් සිය වරක් ඇන මරනු ලබයි. එසේ ඒ පුරුෂයා කිණිසි පහරවල් තුන් සියයක් ඇනීමෙන් කොපමණ දුක් විඳී ද?”
“භාග්‍යවතුන් වහන්ස, එක් කිණිසි පහරකින් වුවත් මහා දුකක් ලැබෙන විට, තුන් සියයක් ගැන කවර කතා ද?”
ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ ගල් කැටයක් ගෙන අත මිට මොළවා “මේ ගල් කැටය ද, හිමාල පර්වත රාජයා ද වඩා විශාල?” යැයි ඇසූ සේක.
“භාග්‍යවතුන් වහන්සේගේ අතේ තිබෙන ගල් කැටය ඉතා කුඩාය. හිමාල පර්වතය හා සැසඳීමට වත් නොහැකිය”.
“එසේ ම මහණෙනි, තුන් සියයක් කිණිසි පහරවලින් දඬුවම් ලැබූ හොරා යම් දුක් දොම්නසක් විඳී ද, ඒ දුක නිරයේ දුක සමඟ සැසඳීමට වත් නොහැකි තරම් ඉතා කුඩාය.
මහණෙනි, ඔහුට යම පල්ලෝ පස් ආකාර බන්ධනය නම් දඬුවම කරති. ගිනියම් වූ යකඩ උලක් වම් අතේ ද, තව එකක් දකුණු අතේ ද, තව එකක් වම් පයේ ද, තව එකක් දකුණු පයේ ද, තව එකක් පපුවේ ද, මෙසේ ගිනියම් වූ යකඩ උල් පහක් ගසති. එහි දරුණු කටුක දුක් වේදනා විඳින ඒ නිරි සත්වයා, ඒ පාප කර්මය ගෙවා අවසන් වන තුරු මරණයට පත් නොවෙයි.
මහණෙනි, යම පල්ලෝ ඔහු යකඩ පොළොවක දිගා කොට, පොරොවකින් සසිති (රහිනවා). ඒ පාප කර්මය ගෙවා අවසන් වන තුරු ඔහු මරණයට පත් නොවෙයි.
නැවත ද මහණෙනි, යම පල්ලෝ ඔහු ඔළුවෙන් හිටවා වෑයෙන් සසිති. එසේ ඒ පාප කර්මය ගෙවා අවසන් වන තුරු හේ මරණයට පත් නොවෙයි.
නැවත ද මහණෙනි, යම පල්ලෝ මොහු රථයක ගැට ගසා ගිනි ගෙන ඇවිලෙන්නා වූ ගිනි දැල් සහිත වූ පොළොවෙහි ඉදිරියට හා පසු පසට ගමන් කරවති. එසේ තියුණු වූ කටුක වූ දුක් විඳින ඔහු පාප කර්මය ගෙවෙන තුරු මරණයට පත් නොවෙයි.
මහණෙනි, යම පල්ලෝ ඔහු ඇවිලෙන, දැල්වෙන ගිනි දැල් සහිත වූ ගිනි අඟුරු පර්වතයකට නැංවීම ද බැස්වීම ද කරවති. එහි දී තියුණු වූ කටුක වූ දුක් වේදනා විඳියි. යම් තාක් ඔහුගේ පාප කර්මය ගෙවෙන තුරු මරණයට පත් නොවෙයි.
යම පල්ලෝ ඔහු ගෙන ගොස්, හිස යටට සිටින සේ ගිනියම් වූ, ගිනි ගන්නා, ගිනි දැල්වුණු ලෝහ හැළියේ (ලෝකුඹු නිරයේ) බහාලති. ඔහු එහි පෙණ දමමින් පැසෙයි. එහි පෙණ දමමින් වරක් උඩට යයි. වරක් යටට බසියි. වරක් හරහට යයි. හෙතෙම ඒ පාප කර්මය ගෙවෙන තුරු මරණයට පත් නොවෙයි.
ඉන් පසු යම පල්ලෝ ඔහු ගෙන මහා නිරයේ දමති. ඒ මහා නිරය නම්, කොන් සතරක් ඇති, දොරවල් සතරක් ඇති, කොටස් වශයෙන් බෙදන ලද යකඩ තාප්පයකින් සහ යකඩ පියනකින් වසා ඇති, එහි බිමත් යකඩින් ම සාදා ඇති ස්ථානයකි. ඒ මහා නිරයේ, බටහිර බිත්තියෙන් ගිනි දැල් විත් නැගෙනහිර බිත්තියේ වදියි. නැගෙනහිර බිත්තියෙන් ගිනි දැල් විත් බටහිර බිත්තියේ වදියි. උතුරු බිත්තියෙන් ගිනි දැල් විත් දකුණු බිත්තියේ ද, දකුණු බිත්තියෙන් ගිනි දැල් විත් උතුරු බිත්තියේ ද, යටින් ගිනි දැල් විත් උඩට ද, උඩින් ගිනි දැල් විත් යටට ද වදියි.
එහි පිළිස්සෙමින් තියුණු කටුක දුක් වේදනා විඳින නිරි සත්වයා, ඔහුගේ අකුසලය අවසන් වන තුරු මරණයට පත් නොවෙයි. දීර්ඝ කාලයකට පසු ව එහි නැගෙනහිර දොර විවෘත වෙයි. එවිට නිරි සත්වයා ඒ දොර දිශාවට වේගයෙන් දුවයි. එසේ දුවන ඔහුගේ සිවිය ද පිළිස්සෙයි. හම ද පිළිස්සෙයි. මස් ද පිළිස්සෙයි. නහර ද පිළිස්සෙයි. ඇටවලින් දුම් දමයි. මෙසේ පිළිස්සෙමින් බොහෝ වසර දහස් ගණනකින් එම දොර සමීපයට පැමිණෙයි. ඒ වන විට ඒ දොරටුව වැසී යයි. හේ තියුණු දුක් විදියි. ඒ පාප කර්මය අවසන් වන තුරු මරණයට පත් නොවෙයි.
එසේ ම දීර්ඝ කාලයකට පසු එහි බටහිර දොර ඇරෙයි. උතුරු දොර ඇරෙයි. දකුණු දොර ඇරෙයි. එසේ ම ඒ නිරි සත්වයා බොහෝ දුක් විඳිමින් වසර දහස් ගණනක් දුව යන විට ඒ දොරවල් ද වැසෙයි. යම් කලෙක එක් දොරකින් ඔහු නික්ම යයි.
මහා නිරයට පසු ව ඒ අසලින් අසූචි නිරය වෙයි. එම නිරි සත්වයා එහි වැටෙයි. එහි ඉඳි කටු තුඩුවන් තුඩු ඇති පණුවෝ ඔහුගේ සිවිය කපා සම කපති. සම කපා මස් කපති. මස් කපා නහර කපති. නහර කපා ඇට කපති. ඇට කපා ඇට මිදුලු කති. තියුණු වූ කටුක වූ දුක් වේදනා විඳින ඒ නිරි සත්වයා, ඒ පාප කර්මය ගෙවෙන තුරු මරණයට පත් නොවෙයි.
එයට පසු ව විශාල උණු අළු නිරය පිහිටයි. එහි තියුණු වූ කටුක වූ දුක් වේදනා විඳින නිරි සත්වයා, ඒ පාප කර්මය ගෙවෙන තුරු මරණයට පත් නොවෙයි.
ඒ උණු අළු නිරයට පසු ව සියක් යොදුන් උස, අඟුල් දහසයක් දිග කටු ඇති, ගිනි ගෙන දැවෙන, ගිනි ජාලාවකින් යුතු ඉඹුල් (පුළුන්) වනයක් වෙයි. යම පල්ලෝ ඔහු ඉඹුල් ගස්වලට නග්ගවති, බස්සවති. ඔහු ඒ හේතුවෙන් දරුණු වූ කටුක වූ දුක් වේදනා විඳියි. ඒ පාප කර්මය ගෙවෙන තුරු මරණයට පත් නොවෙයි.
මහණෙනි, ඒ ඉඹුල් වනයට අනතුරු ව විශාල අසි පත්‍ර (කඩු තල වැනි කොළ ඇති) වනය වෙයි. එහි සුළඟින් වැටෙන අසි පත්‍ර නිසා අත ද කැපෙයි. කකුල ද කැපෙයි. අත්පා දෙක ම ද කැපෙයි. කන ද කැපෙයි. නාසය ද කැපෙයි. කන් හා නාසය යන දෙක ම ද කැපෙයි. එහි තියුණු වූ කටුක වූ දුක් වේදනා විඳින නිරි සත්වයා, ඒ පාප කර්මය ගෙවෙන තුරු මරණයට පත් නොවෙයි.
ඒ නිරයට අනතුරු ව මහත් වූ භෂ්ම (අළු) ගංගාව වෙයි. නිරි සත්වයා එහි වැටෙයි. ඉහළට ගසා ගෙන යයි. පහළට ගසාගෙන යයි. ඉහළට ද පහළට ද ගසා ගෙන යයි. එහි තියුණු වූ කටුක වූ දුක් වේදනා විඳියි. ඒ පාප කර්මය ගෙවා අවසන් වන තුරු මරණයට පත් නොවෙයි.
මහණෙනි, යම පල්ලෝ ඔහු බිලී කටුවෙන් අමුණා ගොඩට ගෙන පොළවේ දමා මෙසේ අසති.
“එම්බා පුරුෂය, නුඹ මොනවාටද කැමති?”
“ස්වාමීනි බඩගිනියි”
එවිට යම පල්ලෝ ගිනියම් වූ යකඩ අඬුවලින් ඔහුගේ මුඛය ඇර, ගිනි ගෙන දිලිසෙන යකඩ ගුලියක් දමති. ඒ ලෝහ ගුලිය ඔහුගේ තොල ද දවයි. කට ද දවයි. උගුර ද දවයි. බඩ ද දවයි. බඩවැල් සහ අතුණු බහන් ද දවාගෙන පසු පසින් වැටෙයි. ඔහු ඒ හේතුවෙන් දරුණු වූ තියුණු වූ කටුක වූ දුක් වේදනා විඳියි. ඒ පාප කර්මය ගෙවෙන තුරු මරණයට පත් නොවෙයි. නැවත යම පල්ලෝ ඔහුගෙන් මෙසේ අසති.
“නුඹ කැමති මොනවාටද?”
“පිපාසයි ස්වාමීනි”
යම පල්ලෝ ගිනි ගෙන දිලිසෙන යකඩ අඬුවලින් මුඛය විවෘත කර, ගිනි ගත් දිලිසෙන ලෝ දිය දමති. ඒ ලෝ දිය ඔහුගේ තොල ද දවයි. කට ද දවයි. උගුර ද දවයි. බඩ ද දවයි. බඩවැල් සහ අතුණුබහන් ද දවාගෙන පසු පසින් නික්ම යයි. ඔහු ඒ හේතුවෙන් දරුණු වූ තියුණු වූ කටුක වූ දුක් වේදනා විඳියි. ඒ කර්මය ගෙවෙන තුරු මරණයට පත් නොවෙයි.
මහණෙනි, නැවත ද යම පල්ලෝ ඔහු මහා නිරයට ඇද දමති.
මහණෙනි, පෙර යම රජුට ද මෙසේ සිත් විය. ලෝකයේ යම් කෙනෙක් පව් කම් කරත් ද, ඔවුහු මෙබඳු විවිධ දුක් කම්කටොලු විඳිති. අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ උපදනා කල්හි, මා මිනිසෙකු වී භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කෙරේ නම්, මට දහම් දෙසන සේක් නම් හා මා ඒ ධර්මය අවබෝධ කරන්නේ නම් ඉතා මැනවි.
මහණෙනි, මම මේ කරුණු අන් ශ්‍රමණයෙකුගෙන් හෝ බ්‍රාහ්මණයෙකුගෙන් අසා නොකියමි. මා විසින් ම දන්නා ලද, දක්නා ලද, ප්‍රත්‍යක්ෂ කරන ලද්ද ම කියමි. මහණෙනි, නිරයේ මෙතෙක් දුක ඇති යැයි සම්පූර්ණ වශයෙන් විස්තර කිරීමට පහසු නොවෙයි.
එසේ ම මහණෙනි, තණ කොළ කන තිරිසන් සත්තු සිටිති. තෙත් වූ ද වියළි වූ ද තණ කොළ දතින් කඩා කන අශ්වයන්, ගොනුන්, බූරුවන්, එළුවන්, මුවන් සහ අනෙකුත් තණ කොළ කන තිරිසන් සත්වයන් සිටිත් ද, බාලයා රස අනුභව කිරීම සඳහා මෙලොව පව් කම් කර මරණින් පසු ඔවුන් අතර උපදියි.
එසේ ම අසූචි අනුභව කරන තිරිසන් සත්තු සිටිති. ඒ සත්තු දුරින් ම අසූචි ගඳ ඉව කර ගෙන දුවති. එය කෙසේ ද යත් ‘මෙහිදී වළඳමු, මෙහිදී වළඳමු’ යැයි බමුණෝ යාග ගන්ධයෙන් දුවන්නා සේය. එසේ අසූචි කන්නා වූ කුකුළන්, බල්ලන්, ඌරන්, සිවලුන් සහ අනෙකුත් සත්වයෝ සිටිත් ද, ඒ බාල තෙම මෙලොව පංච කාමය විඳීම සඳහා පව් කම් කර මරණින් පසු ඒ සත්වයන් අතර උපදියි.
අඳුරේ උපදිනා, අඳුරේ ජීවත් වන, අඳුරේ වයසට යන, අඳුරේ මැරෙන කීටයන්, පණුවන්, ගැඩවිලුන් සහ වෙනත් තිරිසන් සත්තු සිටිත් ද, ඒ බාල තෙම මෙලොව පංච කාමය විඳීම සඳහා පව් කම් කර මරණින් පසු ඒ සතුන් අතර උපදියි.
දියෙහි උපදින, දියෙහි ජීවත් වන, දියෙහි මැරෙණ ප්‍රාණීහු (මාළුන්, කැස්බෑවන්, කිඹුල්ලුන් ආදී) සිටිති. බාලයා මෙලොව පංච කාමය විඳීම සඳහා පව් කම් කර මරණින් පසු ඒ සතුන් අතර උපදියි.
යම් යම් තිරිසන් ආත්මවල ඉපදෙන සත්තු සිටිති. ඒ සත්තු උපදින්නේ, ජීවත් වන්නේ, වයසට යන්නේ, මැරෙන්නේ,
මෝඩයා (බාලයා) රස තණ්හාවෙන්, රස විඳීම වෙනුවෙන්, මෙලොව පව් කම් කර ඒ සතුන් අතර උපදියි. මහණෙනි, මේ තිරිසන් සතුන් විඳින දුක් මෙපමණ යැයි කීමට පහසු නොවෙයි.
මහණෙනි, යම් පුරුෂයෙක් එක සිදුරක් ඇති විය දණ්ඩක් (හරක් දෙදෙනෙකු එකට ගැට ගසන ලීය) මහ මුහුදට විසි කරයි. එය නැගෙනහිරින් බටහිරට ද, බටහිරින් නැගෙනහිරට ද, උතුරින් දකුණට ද, දකුණින් උතුරට ද සුළඟින් ගසා ගෙන යයි. වසර සියයකට වරක් දිය මතුපිටට එන, එක ඇසක් පෙනෙන කැස්බෑවෙක් සිටියි. ඒ කැස්බෑවා මේ එක් සිදුරක් ඇති විය දණ්ඩෙහි බෙල්ල ඇතුළු කරාවි ද?”
“ස්වාමීනි, ඉතාමත් දීර්ඝ කාලයක ඇවෑමෙන් මෙය සිදු විය හැකිය”.
“මහණෙනි, ඒ කණ කැස්බෑවා, එක සිදුරක් ඇති විය දණ්ඩෙහි සිදුරෙහි බෙල්ල ඇතුළු කරන්නේ නම් එය වහා සිදු වන්නකි. එහෙත් වරක් නපුරු ගති ඇති දුගතියේ උපදින බාලයා, නැවත මනුෂ්‍යත්වයට පැමිණීම ඊට වඩා අතිශයෙන් දුර්ලභ යැයි කියමි. ඒ කවර හෙයින් ද යත් මෙම අපායවල ධර්මයේ හැසිරීමක් වත්, සන්සුන් පැවැත්මක් වත්, කුසල ක්‍රියාවක් වත්, පුණ්‍ය ක්‍රියාවක් වත් නොමැත. ඔවුහු එකිනෙකා දුර්වලයන් මරා ගෙන කන්නාහුය.
මහණෙනි, දීර්ඝ කාලයකට පසු යම් හෙයකින් බාලයා මිනිසත් බවට පැමිණුනත්,
හෙතෙම සිතෙන්, කයෙන්, වචනයෙන් නැවතත් දුසිරිත් (අකුසල්) කර මරණින් මතු සැප නැති, කටුක වූ තියුණු වූ දුක් ඇති අපායේ නැවත උපදියි”.
නුවණැති පණ්ඩිතයාට ලැබෙන සැප
“මහණෙනි, සත්පුරුෂ නුවණැත්තාගේ (පණ්ඩිතයාගේ) පණ්ඩිත බව පෙන්වන ලකුණු, නිමිති, චරියා, හැසිරීම් තුනක් ඇත.
නුවණැත්තෝ, පණ්ඩිතයා විසින් යහපත් දේ සිතන, කියන, කරන බැවින් ඔහු පණ්ඩිතයෙක් ලෙස හඳුනා ගනිති.
පණ්ඩිත තෙමේ තුන් ආකාරයකින් මේ ජිවිතයේදී ම සුව සොම්නස් විඳියි.
ඔහු මේ තුන් සුව සොම්නස් විඳියි.
පණ්ඩිතයා මෙලොව දී ම මෙසේ තුන් වැදෑරුම් සුව සොම්නස් විඳියි.
පණ්ඩිත පුද්ගලයා සිතෙන්, වචනයෙන් හා කයෙන් යහපත් දේ කර, මරණින් පසු මනා සුව ඇති දෙව්ලොවට පැමිණෙයි. එහි ඇති සැප සම්පත් කොතරම් ද යැයි උපමාවකින් වත් පැවසීම පහසු නොවෙයි”.
එවිට එක් භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේගෙන් “උපමාවක් කළ හැකිද?” යැයි ඇසුවේය.
“මහණ, සක්විති රජතුමා සප්ත රත්නයකින් හා සතර ඍද්ධියකින් බොහෝ සුව විඳියි.
මේ සප්ත රත්නයයි.
සක්විති රජ සතර ඍද්ධියකින් සමන්විත වෙයි.
මේ ආකාර සප්ත රත්නයකින් හා සතර ඍද්ධියකින් සක්විති රජ සමන්විත වෙයි.
මහණෙනි, මෙසේ සප්ත රත්නයකින් හා සතර ඍද්ධියකින් සමන්විත සක්විති රජ, සුව සොම්නස් විඳින්නේ දැයි සිතන්නේද?”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, එක් රත්නයකින් පමණක් වුව ද මහා සැප සොම්නසක් විඳිය හැකි විට සප්ත රත්න හා සතර ඍද්ධි පිළිබඳ කෙසේ කියන්නද?”
එවිට භාග්‍යවතුන් වහන්සේ අතට ගලක් ගෙන මිට මොළවා මෙසේ ඇසූ සේක.
“මහණෙනි, මේ ගල ද හිමාල පර්වතය ද වඩා විශාල?”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මෙය සැසඳීමට වත් නොහැකිය. ඒ තරම් හිමාල පර්වතය මේ කුඩා ගල් කැටයට වඩා විශාලය”.
“මහණෙනි, එපරිදි ම සක්විති රජ විඳින සැප සොම්නස් දිව්‍ය සුඛය සමඟ සැසඳීමට වත් නොහැකිය. එතරම් දෙවිලොව සැප ඉතා අධික වෙයි. එසේ පණ්ඩිත තෙම දීර්ඝ කාලයක් දෙවිලොව සැප විඳීමෙන් පසු ව මිනිස් ලොවට පැමිණෙන අවස්ථාවක් ඇති විය හැකිය. එහි දී ඔහු රජ බමුණු ආදී මහා පොහොසත් තැන්වල ඉපදී, බොහෝ වස්තු ඇති ව, විශිෂ්ට රූ ඇති ව සුවසේ ජීවත් වෙයි. ඔහු එහිදී ද කයින්, වචනයෙන්, සිතින් මනා වූ යහපත් වූ කුසල වූ කර්ම සිදු කර නැවත සුගතිගාමී වෙයි.
මෙය බාලයා හා පණ්ඩිතයා අතර වෙනස වෙයි”.