Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / කර්ම සහ කර්ම විපාක /

අසත්පුරුෂයා මරණින් මතු නිරයේ හෝ තිරිසන් ලොව උපදියි
සත්පුරුෂයා මරණින් මතු දෙව් ලොව හෝ මිනිස් ලොව උපදියි

චූළපුන්නම සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, මජ්ඣිම නිකාය 3 - පිටු අංක 126 - 133)

අසත්පුරුෂයාට (දුෂ්ටයාට) සත්පුරුෂයා හා අසත්පුරුෂයා වෙන් කොට දැකිය නොහැකිය.

අසත්පුරුෂයාගේ ලක්ෂණ

  1. අසද්ධර්මයෙන් යුක්ත වෙයි. එනම්;
    • ශ්‍රද්ධාව නැත.
    • පවට ලජ්ජා නැත.
    • පවට බිය නැත.
    • නූගත් වෙයි.
    • කුසීත වෙයි.
    • සිහි මුළා වූයේ වෙයි.
    • අඥාන වෙයි.
  2. අසත්පුරුෂයන් කෙරෙහි භක්තිය හා විශ්වාසය ඇත්තේ වෙයි;
    අසත්පුරුෂයා ශ්‍රද්ධාව නැති, පවට ලජ්ජා නැති, පවට බිය නැති, නූගත්, සිහි මුළා වූ, අඥාන මහණ බමුණන්ගේ මිතුරෙකු හෝ සහායකයෙකු වෙයි.
  3. අසත්පුරුෂ සිතිවිලි සිතයි;
    • තමන්ට දුක් හිරිහැර පිණිස සිතයි.
    • අනුන්ට දුක් හිරිහැර පිණිස සිතයි.
    • දෙපසට ම දුක් හිරිහැර පිණිස සිතයි.
  4. අසත්පුරුෂ මන්ත්‍රණ (රහසේ කරන සාකච්ඡා) කරයි;
    • තමන්ට පීඩා පිණිස මන්ත්‍රණ කරයි.
    • අනුන්ට පීඩා පිණිස මන්ත්‍රණ කරයි.
    • දෙපසට ම පීඩා පිණිස මන්ත්‍රණ කරයි.
  5. අසත්පුරුෂ වචන කියයි;
    • බොරු කියයි.
    • කේළාම් කියයි.
    • පරුෂ වචන කියයි.
    • සම්පප්‍රලාප කියයි.
  6. අසත්පුරුෂ ක්‍රියාවන් කරයි;
    • සතුන් මරයි.
    • හොරකම් කරයි.
    • කාමයේ වරදවා හැසිරෙයි.
  7. අසත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වෙයි;
    • දානයෙහි ඵල නැත.
    • යාගයෙහි ඵල නැත.
    • පුදන ලද්දෙහි ඵල නැත.
    • කුසල් අකුසල්වල විපාක නැත.
    • මෙලොව නැත.
    • පරලොව නැත.
    • මව නැත.
    • පියා නැත.
    • ඕපපාතික (ඉබේ පහළ වන) සත්වයන් නැත.
    • මෙලොව පරලොව මැනවින් අවබෝධ කොට ප්‍රකාශ කරන යහපත් ප්‍රතිපදාවේ යෙදෙන මහණ බමුණන් නැත.
  8. අසත්පුරුෂ දාන දෙයි;
    • නොසකසා දෙයි.
    • සියතින් නොදෙයි.
    • හොඳින් සිතා නොබලා අගෞරවයෙන් දෙයි.
    • ඉවත දමන දෙයක් සේ දෙයි.
    • විපාක ලැබෙන බව නොඅදහා දෙයි.

මෙසේ අසත්පුරුෂයා අසද්ධර්මයෙන් යුතු ව, අසත්පුරුෂයන් ඇසුරු කර, අසත්පුරුෂ දේ සිතා, අසත්පුරුෂ දේ සැලසුම් කර, අසත්පුරුෂ වචන කියා, අසත්පුරුෂ දේ කර, අසත්පුරුෂ දෘෂ්ටි දරා, අසත්පුරුෂ දන් දී මරණින් මතු අසත්පුරුෂයන් ගේ යම් ගතියක් ඇත් ද එහි උපදියි.

අසත්පුරුෂයන්ගේ ගතිය යනු නිරය හෝ තිරිසන් යෝනිය හෝ වෙයි.

සත්පුරුෂයාට (යහපත් තැනැත්තාට) සත්පුරුෂයා හා අසත්පුරුෂයා වෙන් කොට දැකිය හැකිය

සත්පුරුෂයාගේ ලක්ෂණ

  1. සද්ධර්මයෙන් යුක්ත වෙයි;
    • ශ්‍රද්ධාව ඇත.
    • පවට ලජ්ජා ඇත.
    • පවට බිය ඇත.
    • උගත්ය.
    • ආරද්ධ වීර්යය (පටන්ගත් වීර්ය) ඇත.
    • එළඹ සිටි සිහිය ඇත.
    • ප්‍රඥාවන්ත වෙයි.
  2. සත්පුරුෂයන් ඇසුරු කරයි;
    ශ්‍රද්ධා ඇති, පවට ලජ්ජා බිය ඇති, උගත්, ආරද්ධ වීර්ය ඇති, එළඹ සිටි සිහි ඇති, ප්‍රඥාවන්ත මහණ බමුණන් ගේ මිතුරෙකු හෝ සහායෙකු වෙයි.
  3. සත්පුරුෂ සිතුවිලි සිතයි;
    • තමන්ට පීඩා පිණිස නොසිතයි.
    • අනුන්ට පීඩා පිණිස නොසිතයි.
    • දෙපසට ම පීඩා පිණිස නොසිතයි.
  4. සත්පුරුෂ මන්ත්‍රණ කරයි;
    • තමන්ට පීඩා පිණිස මන්ත්‍රණ නොකරයි.
    • අනුන්ට පීඩා පිණිස මන්ත්‍රණ නොකරයි.
    • දෙපසට ම පීඩා පිණිස මන්ත්‍රණ නොකරයි.
  5. සත්පුරුෂ වචන කියයි;
    • බොරු නොකියයි.
    • කේළාම් නොකියයි.
    • පරුෂ වචන නොකියයි.
    • හිස් වචන නොකියයි.
  6. සත්පුරුෂ ක්‍රියා කරයි;
    • සතුන් නොමරයි.
    • හොරකම් නොකරයි.
    • කාමයේ වරදවා නොහැසිරෙයි.
  7. සත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වෙයි;
    • දානයෙහි ඵල ඇත.
    • යාගයෙහි ඵල ඇත.
    • පූජාවෙහි ඵල ඇත.
    • කුසල අකුසල කර්මයන්ගේ විපාක ඇත.
    • මෙලොව ඇත.
    • පරලොව ඇත.
    • මව ඇත.
    • පියා ඇත.
    • ඕපපාතික ව උපදනා සත්වයන් ඇත.
    • මෙලොව පරලොව මැනවින් අවබෝධ කොට ප්‍රකාශ කරන යහපත් වූ මනා ප්‍රතිපදාවේ යෙදෙන මහණ බමුණන් ඇත.
  8. සත්පුරුෂ දාන දෙයි;
    • සකසා දෙයි.
    • සියතින් දෙයි.
    • හොඳින් සිතා බලා ගෞරවයෙන් දෙයි.
    • පිරිසිදු ව දෙයි.
    • විපාක ලැබෙන බව අදහා දෙයි.

මෙසේ යහපත් තැනැත්තා සද්ධර්මයෙන් යුතු ව, සත්පුරුෂයන් ඇසුරු කොට, සත්පුරුෂ දේ සිතා, සත්පුරුෂ මන්ත්‍රණ කර, සත්පුරුෂ වචන කියා, සත්පුරුෂ ක්‍රියා කර, සත්පුරුෂ දෘෂ්ටි ඇති ව, සත්පුරුෂ දාන දී, සත්පුරුෂයන්ගේ යම් ගතියක් ඇත් ද එහි උපදියි.

සත්පුරුෂයන්ගේ ගතිය යනු උසස් දෙව් ලොව හෝ උසස් මිනිස් කුල හෝ වෙයි.


බාගත ​කිරීමට