Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස /

කය ලෙඩ වූවත් සිත ලෙඩ කර ගන්න එපා

නකුලපිතු සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා‚ සංයුක්ත නිකාය 3 - පිටු අංක 02 - 09)

නකුලපිතු ගෘහපති පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පස් ව හිඳ “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මම වයස්ගතයෙමි, ජරා ජීර්ණයෙමි, ගිලන්කය ඇත්තෙමි, අවසන් වියට පැමිණියෙමි, නිතර භික්ෂූන් වහන්සේලා දැකීමට ද නොහැක්කෙමි, මට දිගු කලක් හිත සුව පිණිස අවවාද කරන සේක්වා” යැයි පැවසුවේය.

එසේය ගෘහපතිය මේ කය රෝග ඇත්තේමය, මේ කය පරිහරණය කරමින් නිරෝගීබවක් පිළිණ කරයි නම් ඒ මෝඩ කම මිස අන් කවරක් ද? එබැවින් නුඹ ‘ගිලන් කය ඇති මගේ හිත ගිලන් නොවෙති’ යැයි හික්මිය යුතුය.

පසු ව නකුලපිතු ගෘහපති සැරියුත් මහා රහතන් වහන්සේ වෙත පැමිණ, ගිලන් කය ඇතිවත් හිත ගිලන් නොවී පවත්වන්නේ කෙසේ දැයි ඇසුවේය.

සැරියුත් මහා රහතන් වහන්සේ විසින් මෙසේ පැහැදිලි කළ සේක.

කෙසේ නම් ගිලන් කය ඇත්තේත් ගිලන් සිත ඇත්තේත් වේ ද?

සද්ධර්මයෙහි නොහික්මුණු අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ,

රූපය ආත්මය යැයි හෝ ආත්මය රූප ඇත්තෙකැයි හෝ ආත්මයෙහි රූපය පවතී යැයි හෝ රූපයෙහි ආත්මය පවතී යැයි හෝ දකියි. මෙසේ රූපය මමය, මාගේ රූපය යැයි වරදවා ගනියි. මෙසේ රූපය මම මගේ යැයි තදින් වැළඳ ගෙන සිටින ඔහුගේ රූපය වෙනස් වන විට, බිඳී යන විට, අන් අයුරක් වන විට ඔහුට ශෝකය, දුක, දොම්නස, විලාප කීම්, දැඩි සිත් තැවුල් උපදියි.

වේදනාව ආත්මය යැයි හෝ ආත්මය වේදනා ඇත්තෙකැයි හෝ ආත්මයෙහි වේදනාව පවතී යැයි හෝ වේදනාවෙහි ආත්මය පවතී යැයි හෝ දකියි. මෙසේ වේදනාව මමය, මාගේ වේදනාව යැයි වරදවා ගනියි. මෙසේ වේදනාව මම මගේ යැයි තදින් වැළඳ ගෙන සිටින ඔහුගේ වේදනාව වෙනස් වන විට, බිඳී යන විට, අන් අයුරක් වන විට ඔහුට ශෝකය, දුක, දොම්නස, විලාප කීම්, දැඩි සිත් තැවුල් උපදියි.

සංඥාව (හඳුනාගැනීම) ආත්මය යැයි හෝ ආත්මය සංඥා ඇත්තෙකැයි හෝ ආත්මයෙහි සංඥාව පවතී යැයි හෝ සංඥාවෙහි ආත්මය පවතී යැයි හෝ දකියි. මෙසේ සංඥාව මමය, මාගේ සංඥාව යැයි වරදවා ගනියි. මෙසේ සංඥාව තදින් මම මගේ යැයි තදින් වැළඳ ගෙන සිටින ඔහුගේ සංඥාව වෙනස් වන විට, බිඳී යන විට, අන් අයුරක් වන විට එහුට ශෝකය, දුක, දොම්නස, විලාප කීම්, දැඩි සිත් තැවුල් උපදියි.

සංස්කාරය (චේතනාව) ‍ආත්මය යැයි හෝ ආත්මය සංස්කාර ඇත්තෙකැයි හෝ ආත්මයෙහි සංස්කාරය පවතී යැයි හෝ සංස්කාරයෙහි ආත්මය පවතී යැයි හෝ දකියි. මෙසේ සංස්කාරය මමය, මාගේ සංස්කාරය යැයි වරදවා ගනියි. මෙසේ සංස්කාරය මම මගේ යැයි තදින් වැළඳ ගෙන සිටින ඔහුගේ සංස්කාරය වෙනස් වන විට, බිඳී යන විට, අන් අයුරක් වන විට එහුට ශෝකය, දුක, දොම්නස, විලාප කීම්, දැඩි සිත් තැවුල් උපදියි.

විඥානය (දැනගැනීම) ආත්මය යැයි හෝ ආත්මය විඥානය ඇත්තෙකැයි හෝ ආත්මයෙහි විඥානය පවතී යැයි හෝ විඥානයෙහි ආත්මය පවතී යැයි හෝ දකියි. මෙසේ විඥානය මමය, මාගේ විඥානය යැයි වරදවා ගනියි. මෙසේ විඥානය මම මගේ යැයි තදින් වැළඳ ගෙන සිටින ඔහුගේ විඥානය වෙනස් වන විට, බිඳී යන විට, අන් අයුරක් වන විට එහුට ශෝකය, දුක, දොම්නස, විලාප කීම්, දැඩි සිත් තැවුල් උපදියි.

මෙසේ ගිලන් කය ඇත්තේත් ගිලන් සිත් ඇත්තේත් වෙයි.

කෙසේ නම් ගිලන් කය ඇත්තේ ම ගිලන් සිත නැත්තේ වේ ද?

සද්ධර්මයෙහි හික්මුණු ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙමේ,

රූපය ආත්මය යැයි හෝ ආත්මය රූප ඇත්තෙකැයි හෝ ආත්මයෙහි රූපය පවතී යැයි හෝ රූපයෙහි ආත්මය පවතී යැයි හෝ නොදකියි. මෙසේ රූපය මමය, මාගේ රූපය යැයි නොගනියි. මෙසේ රූපය මම මගේ යැයි නොගෙන සිටින ඔහුගේ රූපය වෙනස් වන විට, බිඳී යන විට, අන් අයුරක් වන විට ඔහුට ශෝකය, දුක, දොම්නස, විලාප කීම්, දැඩි සිත් තැවුල් නූපදියි.

වේදනාව ආත්මය යැයි හෝ ආත්මය වේදනා ඇත්තෙකැයි හෝ ආත්මයෙහි වේදනාව පවතී යැයි හෝ වේදනාවෙහි ආත්මය පවතී යැයි හෝ නොදකියි. මෙසේ වේදනාව මමය, මාගේ වේදනාව යැයි වරදවා නොගනියි. මෙසේ වේදනාව මම මගේ යැයි නොගෙන සිටින ඔහුගේ වේදනාව වෙනස් වන විට, බිඳී යන විට, අන් අයුරක් වන විට ඔහුට ශෝකය, දුක, දොම්නස, විලාප කීම්, දැඩි සිත් තැවුල් නූපදියි.

සංඥාව (හඳුනාගැනීම) ආත්මය යැයි හෝ ආත්මය සංඥා ඇත්තෙකැයි හෝ ආත්මයෙහි සංඥාව පවතී යැයි හෝ සංඥාවෙහි ආත්මය පවතී යැයි හෝ නොදකියි. මෙසේ සංඥාව මමය, මාගේ සංඥාව යැයි නොගනියි. මෙසේ සංඥාව මම මගේ යැයි නොගෙන සිටින ඔහුගේ සංඥාව වෙනස් වන විට, බිඳී යන විට, අන් අයුරක් වන විට ඔහුට ශෝකය, දුක, දොම්නස, විලාප කීම්, දැඩි සිත් තැවුල් නූපදියි.

සංස්කාරය (වේතනාව) ආත්මය යැයි හෝ ආත්මය සංස්කාර ඇත්තෙකැයි හෝ ආත්මයෙහි සංස්කාරය පවතී යැයි හෝ සංස්කාරයෙහි ආත්මය පවතී යැයි හෝ නොදකියි. මෙසේ සංස්කාරය මමය, මාගේ සංස්කාරය යැයි වරදවා නොගනියි. මෙසේ සංස්කාරය මම මගේ යැයි නොගෙන සිටින ඔහුගේ සංස්කාරය වෙනස් වන විට, බිඳී යන විට, අන් අයුරක් වන විට ඔහුට ශෝකය, දුක, දොම්නස, විලාප කීම්, දැඩි සිත් තැවුල් නූපදියි.

විඥානය (දැනගැනීම) ආත්මය යැයි හෝ ආත්මය විඥානය ඇත්තෙකැයි හෝ ආත්මයෙහි විඥානය පවතී යැයි හෝ විඥානයෙහි ආත්මය පවතී යැයි හෝ නොදකියි. මෙසේ විඥානය මමය, මාගේ විඥානය යැයි වරදවා නොගනියි. මෙසේ විඥානය මම මගේ යැයි නොගෙන සිටින ඔහුගේ විඥානය වෙනස් වන විට, බිඳී යන විට, අන් අයුරක් වන විට ඔහුට ශෝකය, දුක, දොම්නස, විලාප කීම්, දැඩි සිත් තැවුල් නූපදියි.

මෙසේ ගිලන් කය ඇත්තේත් ගිලන් සිත නැත්තේත් වෙයි.


බාගත ​කිරීමට