අවිද්‍යාව යනු;
- දුක පිළිබඳ නොදැනීම
- දුක හටගැනීම පිළිබඳ නොදැනීම
- දුකෙහි නිරෝධය පිළිබඳ නොදැනීම
- දුක නිරෝධ කරන මාර්ගය පිළිබඳ නොදැනීම
සංස්කාර යනු;
හේතුවකින් හටගත් දේ නැවත සකස් කරන අර්ථයෙන් සංස්කාර වෙයි.
රූපය රූපය පිණිස නැවත සකස් කරන අර්ථයෙන් සංස්කාර වෙයි.
වේදනාව වේදනාව පිණිස නැවත සකස් කරන අර්ථයෙන් සංස්කාර වෙයි.
සංඥාව සංඥාව පිණිස නැවත සකස් කරන අර්ථයෙන් සංස්කාර වෙයි.
සංස්කාර සංස්කාරය පිණිස නැවත සකස් කරන අර්ථයෙන් සංස්කාර වෙයි.
විඥාන විඥානය පිණිස නැවත සකස් කරන අර්ථයෙන් සංස්කාර වෙයි.
සංස්කාර යනු පුණ්‍යාභිසංස්කාර, අපුණ්‍යාභිසංස්කාර, ආනෙඤ්ජාභිසංස්කාර, කායසංස්කාර, වාක්සංස්කාර සහ චිත්තසංස්කාර වශයෙන් වෙයි.
දානමය වූ ද ශීලමය වූ ද භාවනාමය වූ ද කාමාවචර සහ රූපාවචර කුසල චේතනා පුණ්‍යාභිසංස්කාර නම් වෙයි.
කාමාවචර අකුසල චේතනා අපුණ්‍යාභිසංස්කාර නම් වෙයි.
අරූපාවචර කුශල චේතනා ආනෙඤ්ජාභිසංස්කාර නම් වෙයි.
කාය සංචේතනා කායසංස්කාර නම් වෙයි.
වචී සංචේතනා වාක්සංස්කාර නම් වෙයි.
මනෝ සංචේතනා චිත්තසංස්කාර නම් වෙයි.
විඥානය (දැනගැනීම) යනු;
ඇස දැනගැනීම, කන දැනගැනීම, නාසය දැනගැනීම, දිව දැනගැනීම, කය දැනගැනීම සහ මනස දැනගැනීම යැයි දැනගැනීම් හයකි. මෙසේ විඥානය වෙයි.
නාමරූප යනු;
වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය නාම යැයි කියනු ලැබෙයි.
සතර මහා භූතයෝ ද සතර මහා භූතයන්ගේ උපාදාය රූප ද යන මෙය රූප යැයි කියනු ලැබෙයි.
මෙසේ මේ නාමය ද මේ රූපය ද නාමරූප වෙයි.
සළායතන යනු;
ඇස, කන, නාසය, දිව, කය සහ මනස යැයි ආයතන හයකි. මේ සළායතන වෙයි.
ස්පර්ශය යනු;
ඇසෙහි ස්පර්ශය, කනෙහි ස්පර්ශය, නාසයෙහි ස්පර්ශය, දිවෙහි ස්පර්ශය, කයෙහි ස්පර්ශය සහ මනසෙහි ස්පර්ශය යැයි ස්පර්ශ හයකි. මෙසේ ස්පර්ශය වෙයි.
වේදනාව යනු;
විඳීම වෙයි. වේදනා හයකි. එනම් ඇසෙහි ස්පර්ශයෙන් (ගැටීමෙන්) වන වේදනාව, කනෙහි ස්පර්ශයෙන් වන වේදනාව, නාසයෙහි ස්පර්ශයෙන් වන වේදනාව, දිවෙහි ස්පර්ශයෙන් වන වේදනාව, කයෙහි ස්පර්ශයෙන් වන වේදනාව සහ මනසෙහි ස්පර්ශයෙන් වන වේදනාව වෙයි.
තණ්හාව යනු;
රූප තණ්හාව, ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව, පොට්ඨබ්බ තණ්හාව සහ ධම්ම තණ්හාව යැයි තණ්හා හයකි. මෙසේ තණ්හාව වෙයි.
උපාදානය යනු;
තදින් අල්ලා ගැනීම වෙයි. උපාදාන සතරකි.
කාම උපාදානය, දෘෂ්ටි උපාදානය, සීලබ්බත උපාදානය සහ අත්තවාද උපාදානය වශයෙනි.
භවය යනු;
කර්ම භවය සහ උප්පත්ති භවය ලෙස දෙයාකාරයෙන් භවය වෙයි.
පුණ්‍යාභිසංස්කාර, අපුණ්‍යාභිසංස්කාර සහ ආනෙඤ්ජාභිසංස්කාර කර්ම භවය යැයි කියනු ලැබෙයි. සියලු ම භවගාමී කර්ම, කර්ම භවය වෙයි.
කාමභවය, රූපභවය, අරූපභවය, සංඥාභවය, අසංඥාභවය, නේවසංඥානාසංඥාභවය, ඒකවෝකාරභවය, චතුවෝකාරභවය, පංචවෝකාරභවය යැයි මෙසේ උප්පත්ති භවය වෙයි.
ජාතිය යනු;
ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව නිකායෙහි යම් හටගැනීමක්, පිරිපුන් ව හටගැනීමක්, මව් කුසට බැස ගැනීමක්, ඉපදීමක්, විශේෂයෙන් ඉපදීමක්, ස්කන්ධයන්ගේ පහළ වීමක්, ආයතනයන්ගේ ප්‍රතිලාභයක් වේ ද මේ ජාතිය යැයි කියනු ලැබෙයි. මෙසේ ජාතිය වෙයි.
ජරා මරණ යනු;
ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව නිකායෙහි යම් දිරීමක්, දිරන බවක්, දත් වැටීමක්, කෙස් පැසීමක්, ඇඟ රැලි වැටීමක්, ආයු පිරිහීමක්, ඉන්ද්‍රියන්ගේ මේරීමක් වේ ද මෙය ජරා යැයි කියනු ලැබෙයි.
ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව නිකායෙන් වෙන්වීමක්, වෙන්වන බවක්, බිඳීමක්, අතුරුදහන් වන බවක්, මරණයක්, කාල ක්‍රියාවක් (කලුරිය කිරීමක්), ස්කන්ධයන්ගේ බිඳීමක්, සිරුර හැර දැමීමක් වේ ද මේ මරණ යැයි කියනු ලැබෙයි.
මෙසේ මේ ජරාව ද මේ මරණය ද ජරා මරණ නම් වෙයි.
ඇසුරු කළ ත්‍රිපිටකයේ කොටස්
බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා