මේ සසුනෙහි කරුණු විමසන මහණෙක් මෙසේ විමසිය යුතු වෙයි.
ලෝකයෙහි අනේකවිධ, නානාප්‍රකාර දුකක් වූ ජරා මරණ දුක උපදියි නම් මේ ජරා මරණ දුක කුමක් මූලික කොට ඇත්තේ ද, කුමක් හේතු කොට ඇත්තේ ද, කුමක් උපත කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි ජරා මරණ දුක ඇති වේ ද, කුමක් නැති කල්හි ජරා මරණ දුක නැති වේ ද යැයි මෙසේ විමසා බලන්නේ වෙයි.
ජරා මරණයට පත්වන්නේ ඉපදුණු (ජාතිය) නිසා නොවේ ද? කිසි ම තැනක, කිසි කලෙක, කොයි අයුරින් හෝ කිසි ම ඉපදීමක් නොමැති නම් ජරා මරණයක් කොයින් ද? එසේ නම් ජරා මරණයට ප්‍රත්‍යය ඉපදීම ම වේ යැයි අවබෝධ වෙයි.
එනම් ජාතිය ප්‍රත්‍යයෙන් ම ජරා මරණ හටගනියි.
හෙතෙම මෙසේ විමසා බලන විට ලෝකයෙහි අනේකවිධ, නානාප්‍රකාර දුකක් වූ ජරා මරණ දුක උපදියි නම් මේ දුක ජාතිය මූලික කොට ඇත්තේය, ජාතිය හේතු කොට ඇත්තේය, ජාතිය උපත කොට ඇත්තේය, ජාතිය ප්‍රභව කොට ඇත්තේය, ජාතිය ඇති කල්හි ජරා මරණ දුක ඇති වෙයි, ජාතිය නැති කල්හි ජරා මරණ දුක නොවේ යැයි මනා ව දැනගනියි.
හෙතෙම ජරා මරණයත් දැනගනියි. ජරා මරණයේ හටගැනීමත් දැනගනියි. ජරා මරණයේ නිරෝධයත් (ඉතිරි නැති ව ම නැති වීම, සමූල ඝාතනය) දැනගනියි. ජරා මරණ නිරෝධයට යෝග්‍ය යම් පිළිවෙතක් වේ ද එයත් දැනගනියි. එසේ පිළිපදින්නේ නම් එය නිවන කරා යනසුලු සද්ධර්මයට අනුව ධර්මානුකූල ව හැසිරීම ම වෙයි.
මේ මහණ සියලු දුකෙන් අත්මිදීම පිණිස එනම් ජරා මරණ නිරෝධය පිණිස ගමන් කරන්නේ වෙයි.
නැවත ද විමසා බලන්නේ මේ ජාතිය කුමක් මූලික කොට ඇත්තේ ද, කුමක් හේතු කොට ඇත්තේ ද, කුමක් උපත කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි ජාතිය ඇති වේ ද, කුමක් නැති කල්හි ජාතිය නැති වේ දැයි මෙසේ විමසා බලන්නේ වෙයි.
එසේ විමසන විට කිසි ම තැනක, කිසි ම කලෙක, කොයි අයුරින් හෝ ඉපදීමට තැනක් (ඇති තැනක්, භවයක්) නොමැති නම් ඉපදෙන්නට හැකි වේ ද? ඉපදීමට තැනක් (කාම භවයක් හෝ රූප භවයක් හෝ අරූප භවයක්) නැති නම් කොහේ උපදින්න ද? එසේ නම් ඉපදීමට තැනක්, එනම් භවයක් තිබූ නිසා ම ඉපදීම වේ යැයි අවබෝධ වෙයි. එසේ නම් ඉපදීමට ප්‍රත්‍යය භවය ම වෙයි.
එනම් භව ප්‍රත්‍යයෙන් ජාතිය වෙයි.
හෙතෙම මෙසේ විමසා බලන විට මේ ජාතිය භවය මූලික කොට ඇත්තේය, භවය හේතු කොට ඇත්තේය, භවය උපත කොට ඇත්තේය, භවය ප්‍රභව කොට ඇත්තේය, භවය ඇති කල්හි ජාතිය ඇති වෙයි, භවය නැති කල්හි ජාතිය නොවේ යැයි මනා ව දැනගනියි.
හෙතෙම ජාතියත් දැනගනියි. ජාතියේ හටගැනීමත් දැනගනියි. ජාතියේ නිරෝධයත් දැනගනියි. ජාතිය නිරෝධයට යෝග්‍ය යම් පිළිවෙතක් වේ ද එයත් දැනගනියි. එසේ පිළිපදින්නේ නම් එය නිවන් කරා යනසුලු සද්ධර්මයට අනුව ධර්මානුකූල ව හැසිරීම ම වෙයි.
මේ මහණ සියලු දුකෙන් අත්මිදීම පිණිස, එනම් ජාතිය නිරෝධය පිණිස ගමන් කරන්නේ වෙයි.
නැවත ද විමසා බලන්නේ මේ භවය කුමක් මූලික කොට ඇත්තේ ද, කුමක් හේතු කොට ඇත්තේ ද, කුමක් උපත කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි භවය ඇති වේ ද, කුමක් නැති කල්හි භවය නැති වේ දැයි මෙසේ විමසා බලන්නේ වෙයි.
එසේ විමසන විට කිසි ම තැනක, කිසි ම කලෙක, කොයි අයුරින් හෝ උපාදානයක් (තදින් අල්ලා ගැනීමක්) නැති නම් භවයක් කොයින් ද? කෙසේ හටගනිත් ද? එනම් කිසියම් තැනක් හෝ කිසියම් දෙයක් හෝ කිසිවක් තදින් අල්ලා ගැනීමක් කළ හේතුවෙන් ම ඇති තැනක් හෝ ඇති දෙයක් එනම් භවය හටගන්නේ යැයි අවබෝධ වෙයි. එසේ නම් භවයට ප්‍රත්‍යය උපාදානය ම වෙයි.
එනම් උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි.
හෙතෙම මෙසේ විමසා බලන විට මේ භවය උපාදානය මූලික කොට ඇත්තේය, උපාදානය හේතු කොට ඇත්තේය, උපාදානය උපත කොට ඇත්තේය, උපාදානය ප්‍රභව කොට ඇත්තේය, උපාදානය ඇති කල්හි භවය ඇති වෙයි, උපාදානය නැති කල්හි භවය නොවේ යැයි මනා ව දැනගනියි.
හෙතෙම භවයත් දැනගනියි. භවයේ හටගැනීමත් දැනගනියි. භව නිරෝධයත් දැනගනියි. භවය නිරෝධයට යෝග්‍ය යම් පිළිවෙතක් වේ ද එයත් දැනගනියි. එසේ පිළිපදින්නේ නම් එය නිවන් කරා යනසුලු සද්ධර්මයට අනුව ධර්මානුකූල ව හැසිරීම ම වෙයි.
මේ මහණ සියලු දුකෙන් අත්මිදීම පිණිස එනම් භව නිරෝධය පිණිස ගමන් කරන්නේ වෙයි.
නැවත ද විමසා බලන්නේ මේ උපාදානය කුමක් මූලික කොට ඇත්තේ ද, කුමක් හේතු කොට ඇත්තේ ද, කුමක් උපත කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි උපාදානය ඇති වේ ද, කුමක් නැති කල්හි උපාදානය නැති වේ දැයි මෙසේ විමසා බලන්නේ වෙයි.
එසේ විමසන විට කිසි ම තැනක, කිසි කලෙක, කොයි අයුරින් හෝ කිසිවක් හෝ කිසිවෙක් කෙරෙහි කැමැත්තක් හෝ ආසාවක්, එනම් තණ්හාවක් නැති නම් තදින් අල්ලා ගැනීමක් (උපාදානයක්) කෙසේ කරන්නේ ද? තණ්හා කළ හේතුවෙන් ම තදින් අල්ලා ගැනීමක් වේ යැයි අවබෝධ වෙයි. එසේ නම් උපාදානයට ප්‍රත්‍යය තණ්හාව ම වෙයි.
එනම් තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානය වෙයි.
හෙතෙම මෙසේ විමසා බලන විට මේ උපාදානය තණ්හාව මූලික කොට ඇත්තේය, තණ්හාව හේතු කොට ඇත්තේය, තණ්හාව උපත කොට ඇත්තේය, තණ්හාව ප්‍රභව කොට ඇත්තේය, තණ්හාව ඇති කල්හි උපාදානය ඇති වෙයි, තණ්හාව නැති කල්හි උපාදානය නොවේ යැයි මනා ව දැනගනියි.
හෙතෙම උපාදානයත් දැනගනියි. උපාදානයේ හටගැනීමත් දැනගනියි. උපාදාන නිරෝධයත් දැනගනියි. උපාදාන නිරෝධයට යෝග්‍ය යම් පිළිවෙතක් වේ ද එයත් දැනගනියි. එසේ පිළිපදින්නේ නම් එය නිවන් කරා යනසුලු සද්ධර්මයට අනුව ධර්මානුකූල ව හැසිරීම ම වෙයි.
මේ මහණ සියලු දුකෙන් අත්මිදීම පිණිස එනම් උපාදාන නිරෝධය පිණිස ගමන් කරන්නේ වෙයි.
නැවත ද විමසා බලන්නේ මේ තණ්හාව කුමක් මූලික කොට ඇත්තේ ද, කුමක් හේතු කොට ඇත්තේ ද, කුමක් උපත කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි තණ්හාව ඇති වේ ද, කුමක් නැති කල්හි තණ්හාව නැති වේ දැයි මෙසේ විමසා බලන්නේ වෙයි.
එසේ විමසන විට කිසි ම තැනක, කිසි කලෙක, කොයි අයුරින් හෝ සැප විඳීමක් (සැප වේදනාවක්) හෝ දුක් විඳීමක් හෝ සැපත් නැති දුකත් නැති විඳීමක් නොමැති නම් කුමකට තණ්හාවක් (කැමැත්තක්, ආසාවක්) ඇති කර ගන්න ද? විඳින ලද දෙයකට ම තණ්හා කරන්නේ වෙයි. එනම් විඳීමක් හේතුවෙන් ම තණ්හාවක් හටගන්නේ යැයි අවබෝධ වෙයි. එසේ නම් තණ්හාවට ප්‍රත්‍යය වේදනාව ම වෙයි.
එනම් වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව වෙයි.
හෙතෙම මෙසේ විමසා බලන විට මේ තණ්හාව වේදනාව මූලික කොට ඇත්තේය, වේදනාව හේතු කොට ඇත්තේය, වේදනාව උපත කොට ඇත්තේය, වේදනාව ප්‍රභව කොට ඇත්තේය, වේදනාව ඇති කල්හි තණ්හාව ඇති වෙයි, වේදනාව නැති කල්හි තණ්හාව නොවේ යැයි මනා ව දැනගනියි.
හෙතෙම තණ්හාවත් දැනගනියි. තණ්හාව හටගැනීමත් දැනගනියි. තණ්හාව නිරෝධයත් දැනගනියි. තණ්හාව නිරෝධයට යෝග්‍ය යම් පිළිවෙතක් වේ ද එයත් දැනගනියි. එසේ පිළිපදින්නේ නම් එය නිවන් කරා යනසුලු සද්ධර්මයට අනුව ධර්මානුකූල ව හැසිරීම ම වෙයි.
මේ මහණ සියලු දුකෙන් අත්මිදීම පිණිස එනම් තණ්හාව නිරෝධය පිණිස ගමන් කරන්නේ වෙයි.
නැවත ද විමසා බලන්නේ මේ වේදනාව කුමක් මූලික කොට ඇත්තේ ද, කුමක් හේතු කොට ඇත්තේ ද, කුමක් උපත කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි වේදනාව ඇති වේ ද, කුමක් නැති කල්හි වේදනාව නැති වේ දැයි මෙසේ විමසා බලන්නේ වෙයි.
එසේ විමසන විට කිසි ම තැනක, කිසි ම කලෙක, කොයි අයුරින් හෝ ඇසෙහි ගැටීමක් (චක්ඛුසම්ඵස්සයක්) හෝ කනෙහි ගැටීමක් (සොතසම්ඵස්සයක්) හෝ නාසයෙහි ගැටීමක් (ඝානසම්ඵස්සයක්) හෝ දිවෙහි ගැටීමක් (ජිව්හාසම්ඵස්සයක්) හෝ කයෙහි ගැටීමක් (කායසම්ඵස්සයක්) හෝ මනසෙහි ගැටීමක් (මනෝසම්ඵස්සයක්) නැති නම් කුමක් විඳින්න ද? ඇස, කන, නාසය, දිව, කය සහ මනස යන ආයතනයන්හි ගැටුණු (ස්පර්ශ වූ) දෙයක් ම විඳිය හැකි වෙයි. එනම් ගැටුණු (ස්පර්ශ වූ) නිසා ම වේදනාව හටගන්නේ යැයි අවබෝධ වෙයි. එසේ නම් වේදනාවට ප්‍රත්‍යය ස්පර්ශය ම වෙයි.
එනම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව වෙයි.
හෙතෙම මෙසේ විමසා බලන විට මේ වේදනාව ස්පර්ශය මූලික කොට ඇත්තේය, ස්පර්ශය හේතු කොට ඇත්තේය, ස්පර්ශය උපත කොට ඇත්තේය, ස්පර්ශය ප්‍රභව කොට ඇත්තේය, ස්පර්ශය ඇති කල්හි වේදනාව ඇති වෙයි, ස්පර්ශය නැති කල්හි වේදනාව නොවේ යැයි මනා ව දැනගනියි.
හෙතෙම වේදනාවත් දැනගනියි. වේදනාවේ හටගැනීමත් දැනගනියි. වේදනාව නිරෝධයත් දැනගනියි. වේදනාව නිරෝධයට යෝග්‍ය යම් පිළිවෙතක් වේ ද එයත් දැනගනියි. එසේ පිළිපදින්නේ නම් එය නිවන් කරා යනසුලු සද්ධර්මයට අනුව ධර්මානුකූල ව හැසිරීම ම වෙයි.
මේ මහණ සියලු දුකෙන් අත්මිදීම පිණිස එනම් වේදනාව නිරෝධය පිණිස ගමන් කරන්නේ වෙයි.
නැවත ද විමසා බලන්නේ මේ ස්පර්ශය කුමක් මූලික කොට ඇත්තේ ද, කුමක් හේතු කොට ඇත්තේ ද, කුමක් උපත කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි ස්පර්ශය ඇති වේ ද, කුමක් නැති කල්හි ස්පර්ශය නැති වේ දැයි මෙසේ විමසා බලන්නේ වෙයි.
එසේ විමසන විට කිසි ම තැනක, කිසි ම කලෙක, කොයි අයුරින් හෝ ඇස, කන, නාසය, දිව, කය සහ මනස යන ආයතන, එනම් සළායතන නැති නම් ස්පර්ශ වන්නේ (ගැටෙන්නේ) කුමක ද? ගැටීමට නම් ගැටෙන්න දෙයක් තිබිය යුතු නොවේ ද? එනම් ඇස, කන, නාසය, දිව, කය සහ මනස යන ආයතන හේතුවෙන් ම ස්පර්ශය වේ යැයි අවබෝධ වෙයි. එසේ නම් ස්පර්ශයට ප්‍රත්‍යය සළායතන ම වෙයි.
එනම් සළායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි.
හෙතෙම මෙසේ විමසා බලන විට මේ ස්පර්ශය සළායතන මූලික කොට ඇත්තේය, සළායතන හේතු කොට ඇත්තේය, සළායතන උපත කොට ඇත්තේය, සළායතන ප්‍රභව කොට ඇත්තේය, සළායතන ඇති කල්හි ස්පර්ශය ඇති වෙයි, සළායතන නැති කල්හි ස්පර්ශය නොවේ යැයි මනා ව දැනගනියි.
හෙතෙම ස්පර්ශයත් දැනගනියි. ස්පර්ශයේ හටගැනීමත් දැනගනියි. ස්පර්ශ නිරෝධයත් දැනගනියි. ස්පර්ශ නිරෝධයට යෝග්‍ය යම් පිළිවෙතක් වේ ද එයත් දැනගනියි. එසේ පිළිපදින්නේ නම් එය නිවන කරා යනසුලු සද්ධර්මයට අනුව ධර්මානුකූල ව හැසිරීම ම වෙයි.
මේ මහණ සියලු දුකෙන් අත්මිදීම පිණිස එනම් ස්පර්ශ නිරෝධය පිණිස ගමන් කරන්නේ වෙයි.
නැවත ද විමසා බලන්නේ මේ සළායතන කුමක් මූලික කොට ඇත්තේ ද, කුමක් හේතු කොට ඇත්තේ ද, කුමක් උපත කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි සළායතන ඇති වේ ද, කුමක් නැති කල්හි සළායතන නැති වේ දැයි මෙසේ විමසා බලන්නේ වෙයි.
එසේ විමසන විට කිසි ම තැනක, කිසි ම කලෙක, කොයි අයුරින් හෝ නාමරූප නැත්නම් සළායතනයක් කෙසේ නම් පනවන්න ද? රූපයක්, වේදනාවක්, හඳුනාගැනීමක්, චේතනාවක් (සිතීමක්, හේතුවකින් හටගත් දේ නැවත සකස් කිරීමක්), එනම් නාමරූප නොමැති වූ විට ආයතනයක් ගැන දැනුමක් උපදවා ගන්නේ කුමකින් ද? කෙසේ ද? එනම් නාමරූප ඇති වූ හේතුවෙන් ම සළායතන වේ යැයි අවබෝධ වෙයි.
vඑනම් නාමරූප ප්‍රත්‍යයෙන් සළායතන වෙයි.
හෙතෙම මෙසේ විමසා බලන විට මේ සළායතන නාමරූප මූලික කොට ඇත්තේය. නාමරූප හේතු කොට ඇත්තේය. නාමරූප උපත කොට ඇත්තේය. නාමරූප ප්‍රභව කොට ඇත්තේය. නාමරූප ඇති කල්හි සළායතන ඇති වෙයි. නාමරූප නැති කල්හි සළායතන නොවෙයි. මෙසේ මනා ව දැනගනියි.
හෙතෙම සළායතනත් දැනගනියි. සළායතනයේ හටගැනීමත් දැනගනියි. සළායතන නිරෝධයත් දැනගනියි. සළායතන නිරෝධයට යෝග්‍ය යම් පිළිවෙතක් වේ ද එයත් දැනගනියි.
එසේ පිළිපදින්නේ නම් එය නිවන් කරා යනසුලු සද්ධර්මයට අනුව ධර්මානුකූල ව හැසිරීම ම වෙයි.මේ මහණ සියලු දුකෙන් අත්මිදීම පිණිස එනම් සළායතන නිරෝධය පිණිස ගමන් කරන්නේ වෙයි.
නැවත ද විමසා බලන්නේ මේ නාමරූප කුමක් මූලික කොට ඇත්තේ ද, කුමක් හේතු කොට ඇත්තේ ද, කුමක් උපත කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි නාමරූප ඇති වේ ද, කුමක් නැති කල්හි නාමරූප නැති වේ දැයි මෙසේ විමසා බලන්නේ වෙයි.
එසේ විමසන විට කිසි ම තැනක, කිසි ම කලෙක, කොයි අයුරින් හෝ දැනගැනීමක් (විඥානයක්) නැත්නම් නාමරූපයක් (රූපයක්, වේදනාවක්, හඳුනාගැනීමක්, චේතනාවක්) කෙසේ නම් දැනගන්න ද? දැනගත් දෙයක් ම පැනවිය හැකි නිසා නොදැනගත් දෙයක් කෙසේ පනවන්න ද? එනම් දැනගැනීම (විඥානය) හේතුවෙන් ම නාමරූප වේ යැයි අවබෝධ වෙයි.
රූපයක් හෝ විඳීමක් හෝ හඳුනාගැනීමක් හෝ චේතනාවක් එනම් නාමරූපයක් හමුවූයේ හෝ ඒ ගැන අවබෝධයක් ලැබුණේ දැනගැනීම නිසා නොවේ ද? එසේ නම් නාමරූපයට ප්‍රත්‍යය විඥානය ම වෙයි.
එනම් විඥාන ප්‍රත්‍යයෙන් නාමරූප වෙයි.
හෙතෙම මෙසේ විමසා බලන විට මේ නාමරූප විඥානය මූලික කොට ඇත්තේය, විඥානය හේතු කොට ඇත්තේය, විඥානය උපත කොට ඇත්තේය, විඥානය ප්‍රභව කොට ඇත්තේ, විඥානය ඇති කල්හි නාමරූප ඇති වෙයි, විඥානය නැති කල්හි නාමරූප නැති වේ යැයි මනා ව දැනගනියි.
හෙතෙම නාමරූපත් දැනගනියි. නාමරූපයේ හටගැනීමත් දැනගනියි. නාමරූප නිරෝධයත් දැනගනියි. නාමරූප නිරෝධයට යෝග්‍ය යම් පිළිවෙතක් වේ ද එයත් දැනගනියි. එසේ පිළිපදින්නේ නම් එය නිවන් කරා යනසුලු සද්ධර්මයට අනුව ධර්මානුකූල ව හැසිරීම ම වෙයි.
මේ මහණ සියලු දුකෙන් අත්මිදීම පිණිස එනම් නාමරූප නිරෝධය පිණිස ගමන් කරන්නේ වෙයි.
නැවත ද විමසා බලන්නේ මේ විඥානය කුමක් මූලික කොට ඇත්තේ ද, කුමක් හේතු කොට ඇත්තේ ද, කුමක් උපත කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි විඥානය ඇති වේ ද, කුමක් නැති කල්හි විඥානය නැති වේ දැයි මෙසේ විමසා බලන්නේ වෙයි.
එසේ විමසන විට කිසි ම තැනක, කිසි ම කලෙක, කොයි අයුරින් හෝ සංස්කාරයක් (චේතනාවක්) නැත්නම් දැනගැනීමක් (විඥානයක්) කෙසේ නම් උපදින්නේ ද? දැනගැනීම පිණිස චේතනාවක් තිබුණු හෙයින් ම දැනගැනීමක් උපදින්නේ වෙයි. එනම් සංස්කාර (චේතනාව) හේතුවෙන් ම විඥානය (දැනගැනීම) වේ යැයි අවබෝධ වෙයි. එසේ නම් විඥානයට ප්‍රත්‍යය සංස්කාර ම වෙයි.
එනම් සංස්කාර ප්‍රත්‍යයෙන් විඥාන වෙයි.
හෙතෙම මෙසේ විමසා බලන විට මේ විඥානය සංස්කාර මූලික කොට ඇත්තේය, සංස්කාර හේතු කොට ඇත්තේය, සංස්කාර උපත කොට ඇත්තේය, සංස්කාර ප්‍රභව කොට ඇත්තේ, සංස්කාර ඇති කල්හි විඥානය ඇති වෙයි, සංස්කාර නැති කල්හි විඥානය නැති වේ යැයි මනා ව දැනගනියි.
හෙතෙම විඥානයත් දැනගනියි. විඥානයේ හටගැනීමත් දැනගනියි. විඥානය නිරෝධයත් දැනගනියි. විඥානය නිරෝධයට යෝග්‍ය යම් පිළිවෙතක් වේ ද එයත් දැනගනියි. එසේ පිළිපදින්නේ නම් එය නිවන් කරා යනසුලු සද්ධර්මයට අනුව ධර්මානුකූල ව හැසිරීම ම වෙයි.
මේ මහණ සියලු දුකෙන් අත්මිදීම පිණිස එනම් විඥානය නිරෝධය පිණිස ගමන් කරන්නේ වෙයි.
නැවත ද විමසා බලන්නේ මේ සංස්කාර කුමක් මූලික කොට ඇත්තේ ද, කුමක් හේතු කොට ඇත්තේ ද, කුමක් උපත කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි සංස්කාර ඇති වේ ද, කුමක් නැති කල්හි සංස්කාර නැති වේ දැයි මෙසේ විමසා බලන්නේ වෙයි.
එය මෙසේ අවබෝධ කළයුතු වෙයි. ‘හටගන්නා ස්වභාවය ඇති යම් කිසිවක් වේ ද ඒ සියල්ල නිරෝධ වීම ස්වභාවය කොට ඇත’. එබැවින් නිරෝධ වූ දෙය ප්‍රත්‍ය කර ගෙන නැවත කිසිවක් හෝ කිසිවෙක් උපදවා ගත නොහැකි වෙයි. මේ බව නොදන්නාකම අවිද්‍යාව වෙයි.
කිසි ම තැනක, කිසි ම කලෙක, කොයි අයුරින් හෝ කිසි ම අවිද්‍යාවක් නැත්නම් සංස්කාරයක් (චේතනාවක්) කෙසේ නම් හටගනියි ද? එනම් අවිද්‍යාව හේතුවෙන් ම සංස්කාර වෙයි.
එය මෙසේ ද අවබෝධ කළ හැකිය. සියල්ල හටගෙන නිරෝධ වී නම් කුමක් ගැන සිතන්න ද? කුමක් කියන්න ද? කුමක් කරන්න ද? ඒ ගැන නොදන්නා බැවින් ම සිතීමට, කීමට සහ කිරීමට ඇති දෙයක් හෝ ඇති තැනක් හෝ ඇති කෙනෙක් හමුවෙයි. මෙසේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වෙයි. එසේ නම් සංස්කාරයන්ට ප්‍රත්‍යය අවිද්‍යාව ම වෙයි.
එනම් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වෙයි.
හෙතෙම මෙසේ විමසා බලන විට මේ සංස්කාර අවිද්‍යාව මූලික කොට ඇත්තේය, අවිද්‍යාව හේතු කොට ඇත්තේය, අවිද්‍යාව උපත කොට ඇත්තේය, අවිද්‍යාව ප්‍රභව කොට ඇත්තේය, අවිද්‍යාව ඇති කල්හි සංස්කාර ඇති වෙයි, අවිද්‍යාව නැති කල්හි සංස්කාර නොවේ යැයි මනා ව දැනගනියි.
හෙතෙම සංස්කාරත් දැනගනියි. සංස්කාර හටගැනීමත් දැනගනියි. සංස්කාර නිරෝධයත් දැනගනියි. සංස්කාර නිරෝධයට යෝග්‍ය යම් පිළිවෙතක් වේ ද එයත් දැනගනියි. එසේ පිළිපදින්නේ නම් එය නිවන් කරා යනසුලු සද්ධර්මයට අනුව ධර්මානුකූල ව හැසිරීම ම වෙයි.
මේ මහණ සියලු දුකෙන් අත්මිදීම පිණිස එනම් සංස්කාර නිරෝධය පිණිස ගමන් කරන්නේ වෙයි.
අවිද්‍යාවෙන් යුතු මේ පුද්ගල තෙමේ යම් හෙයකින් කුසල් සංස්කාර රැස් කෙරෙයි නම් ඔහුගේ විඥානය කුසල සහගත වෙයි. යම් හෙයකින් අකුසල් සංස්කාර රැස් කෙරෙයි නම් ඔහුගේ විඥානය අකුසල සහගත වෙයි. යම් හෙයකින් අරූපාවචර කුසල සංස්කාර, එනම් නොසැලෙන සංස්කාර රැස් කෙරෙයි නම් ඔහුගේ විඥානය අරූපාවචර කුසල සහගත වෙයි.
යම් කලෙක පටන් භික්ෂුවගේ අවිද්‍යාව ප්‍රහාණය වී විද්‍යාව ඉපදුනේ ද, හෙතෙම විද්‍යාව ඉපදීමෙන් අවිද්‍යාව දුරු වීම හේතුවෙන් කුසල් සංස්කාර රැස් නොකෙරෙයි, අකුසල් සංස්කාර රැස් නොකෙරෙයි, අරූපාවචර කුසල සංස්කාර රැස් නොකෙරෙයි. කිසිවක් රැස් නොකරන්නේ, ලෝකයේ කිසිවක් අල්ලා නොගනියි. කිසිවක් අල්ලා නොගන්නේ තැති ගැනීම (කනස්සල්ල, අසහනය, භය වීම) දුරු වෙයි. තැති නොගන්නේ සියලු දුකෙන් මිදෙයි.
උපත ක්ෂය විය, බ්‍රහ්මචරියාව සම්පූර්ණ වි, කළයුත්ත කර නිම විය, මතුවට කළ යුත්තක් නැතැයි මනා ව දැනගනියි.
හෙතෙම යම් හෙයකින් සැප වේදනාවක් විඳින්නේ නම් එය අනිත්‍ය ලෙස දැනගනියි. එයට නොබැඳෙන බව දැනගනියි. එයට සතුටු නොවේ යැයි දනියි.
යම් හෙයකින් දුක් වේදනාවක් විඳින්නේ නම් එය අනිත්‍ය ලෙස දැනගනියි. එයට නොබැඳෙන බව දැනගනියි. එයට සතුටු නොවේ යැයි දනියි.
යම් හෙයකින් සැප ද දුක ද නැති වේදනාවක් විඳින්නේ නම් එය අනිත්‍ය ලෙස දැනගනියි. එයට නොබැඳෙන බව දැනගනියි. එයට සතුටු නොවේ යැයි දනියි.
යම් හෙයකින් සැප වේදනාවක් විඳින්නේ නම් එයින් වෙන් වී ඒ වේදනාව විඳියි. යම් හෙයකින් දුක වේදනාවක් විඳින්නේ නම් එයින් වෙන් වී ඒ වේදනාව විඳියි. යම් හෙයකින් සැප ද දුක ද නැති වේදනාවක් විඳින්නේ නම් එයින් වෙන් වී ඒ වේදනාව විඳියි.
හෙතෙම කය කෙළවර කොට ඇති වේදනාවක් විඳින්නේ නම් ‘කය කෙළවර කොට ඇති වේදනාවක් විඳින්නෙමි’ යැයි දැනගනියි. ජීවිතය කෙළවර කොට ඇති වේදනාවක් විඳින්නේ නම් ‘ජීවිතය කෙළවර කොට ඇති වේදනාවක් විඳින්නෙමි’ යැයි දැනගනියි. කය බිඳීමෙන් දිවි කෙළවර වීමට පෙර ම මෙහි ම සියලු වේදනාවන්ට සතුටු නොවන බැවින් සිසිල් වන්නේය, කය ම ඉතිරි වන්නේය යැයි දැනගනියි.
විද්‍යාව සාක්ෂාත් කළ රහතන් වහන්සේ විසින් පුණ්‍යාභිසංස්කාර රැස් කරන්නේ හෝ අපුණ්‍යාභිසංස්කාර රැස් කරන්නේ හෝ ආනෙඤ්ජාභිසංස්කාර රැස් කරන්නේ නැත. මෙසේ අවිද්‍යාව නිරෝධයෙන් සංස්කාර නිරෝධ වෙයි.
සර්වප්‍රකාරයෙන් සංස්කාර නැති කල්හි සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධ වෙයි.
සර්වප්‍රකාරයෙන් විඥාන නැති කල්හි විඥාන නිරෝධයෙන් නාමරූප නිරෝධ වෙයි.
සර්වප්‍රකාරයෙන් නාමරූප නැති කල්හි නාමරූප නිරෝධයෙන් සළායතන නිරෝධ වෙයි.
සර්වප්‍රකාරයෙන් සළායතන නැති කල්හි සළායතන නිරෝධයෙන් ස්පර්ශය නිරෝධ වෙයි.
සර්වප්‍රකාරයෙන් ස්පර්ශය නැති කල්හි ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරෝධ වෙයි.
සර්වප්‍රකාරයෙන් වේදනාව නැති කල්හි වේදනා නිරෝධයෙන් තණ්හාව නිරෝධ වෙයි.
සර්වප්‍රකාරයෙන් තණ්හාව නැති කල්හි තණ්හා නිරෝධයෙන් උපාදානය නිරෝධ වෙයි.
සර්වප්‍රකාරයෙන් උපාදානය නැති කල්හි උපාදාන නිරෝධයෙන් භවය නිරෝධ වෙයි.
සර්වප්‍රකාරයෙන් භවය නැති කල්හි භව නිරෝධයෙන් ජාතිය නිරෝධ වෙයි.
සර්වප්‍රකාරයෙන් ජාතිය නැති කල්හි ජාති නිරෝධයෙන් ජරා මරණ, සෝක, පරිදේව, දුක, දොම්නස්, උපායාස නිරෝධ වෙයි.
මෙය මෙසේ ම සිදු වෙයි. අන් අයුරකින් නොවෙයි. මෙය මෙසේ ම යැයි අදහවු. නිශ්චයට පැමිණෙවු. සැක නොකරවු. මෙය ම සියලු දුකෙහි කෙළවර වෙයි.
ඇසුරු කළ ත්‍රිපිටකයේ කොටස්
බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා