Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / කාමයන්ගේ ආදීනවය / නළු නිළියන්ගේ රඟපෑම සහ එහි විපාක

නළු නිළියන්ගේ රඟපෑම සහ එහි විපාක

තාලපුට සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා, සංයුත්ත නිකාය 4 - පිටු අංක 558 - 561)

එක් කලෙක බුදු රජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ වසන සේක. එකල්හි නැට්ටුක්කාරයෙක් (නළුවෙක්) වූ තාලපුට ගාමිණි පැමිණ වැඳ එකත් පස් ව හිඳ මෙසේ ඇසුවේය.

“ස්වාමීනි, නළුවෙක් රඟ මඬලක හිඳ රඟපා ඇත්තෙනුත් බොරුවෙනුත් ජනයා සතුටු කරයි ද හිනස්සයි ද ඒ අය මරණින් පසු ‘පහාස’ නම් දෙවියන්ගේ සහභාවයට පැමිණේ යැයි පෙර නැටුම් ආචාර්ය ප්‍රාචාර්යවරු පැවසූහ. මේ අදහස ගැන භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරන සේක් ද?”

“ගාමිණි පලක් නොමැත. මෙය මගෙන් නොවිමසන්න” යැයි භාග්‍යවතුන් වහන්සේ සැල කළ ද දෙවෙනි තෙවෙනි වරටත් එසේ ම ඇසීය.

“තෙවරක් ම මෙය නොවිමසන්න යැයි පැවසුව ද නැවත නැවත අසන නිසා මම ඔබට මෙසේ විසඳමි.

ගාමිණි, මේ සත්වයෝ පෙර සිට ම රාගයෙන් බැඳුණු, රාගය (ආසාව) පහ නොකළ වූවෝ වෙති. නැටුම් දැකීමෙන් ඔවුහු ඒවාට ඇලෙති. බොහෝ රාග ඇත්තෝ බවට පත් වෙති.

එසේ ම මේ සත්වයෝ පෙර සිට ම පහ නොවූ ද්වේෂ (තරහ) ඇත්තෝ වෙති. ද්වේෂයෙන් බැඳුණු සත්වයෝ ද්වේෂයට හිතකර කරුණු ඇති නැටුම් දැක බොහෝ සෙයින් ද්වේෂය ඇති කර ගනිති. එය ඒ අයගේ ද්වේෂය වැඩීම පිණිස පවතියි.

මෝහයෙන් (මුළාවෙන්) බැඳුණු, පහ නොවූ මෝහයෙන් යුතු සත්වයන් නැටුම් දැක එහි මුළාවට හා රැවටීමට කරුණු වේ නම්, ඒ අය බොහෝ මුළා වීම සඳහා මේවා හේතු වෙයි.

එසේ රාග, ද්වේෂ, මෝහ (අකුසල්) වැඩි වීම සඳහා මේ නැටුම් දැකීම හේතු වෙයි.

එසේ නළුවෝ තමනුත් උමතු වී සිහි මුළාවට පත් වී අන් අයත් උමතුවෙහි හා සිහි මුළාවෙහි සමාදන් කරවා මරණින් පසු ‘පහාස’ නම් නිරයේ උපදිති.

යම් කෙනෙකුට එසේ රඟන නළුවන් බොරුවෙන් හා ඇත්තෙන් ජනයා සිනා නංවා, සතුටු කරවා, මරණින් පසු ‘පහාස’ නම් දෙවියන්ගේ සහභාවයට පැමිණේ යැයි, දැක්මක් වේ නම්, එය ඔහුගේ මිථ්‍යා දෘෂ්ටිය (වැරදි දැක්ම) වෙයි. ඒ මිථ්‍යා දෘෂ්ටිය එම පුද්ගලයා නිරයේ හෝ තිරිසන් අපායේ ඉපදීම සඳහා හේතු වෙයි”.

මෙසේ වදාළ කල්හි ගාමිණි හැඬීය. හඬා මෙසේ කීවේය.

“මම බොහෝ කලක්, පෙර විසූ ආචාර්ය ප්‍රාචාර්යවරුන් විසින් රවටන ලදිමි. භාග්‍යවතුන් වහන්ස, ඉතා මැනවි. ඉතා මැනවි. මම තුනුරුවන් සරණ යමි. මම ඔබ වහන්සේගේ ශාසනයේ පැවිදි උපසම්පදාව ලබන්නෙමි”.

එසේ පැවිදි වූ තාලපුට තෙරණුවෝ නොපමා ව, කෙලෙස් තවන වෙර ඇති ව, නිවන පිණිස මෙහෙයූ සිත ඇති ව වෙසෙමින් සියලු කෙලෙස් දුරු කර රහත් ඵලයට පැමිණි සේක.


බාගත ​කිරීමට