Majjimapatipage.org logo
Majjimapatipage.org logo
සදහම් ලිපි / කාමයන්ගේ ආදීනවය / තම ස්වාමි පුරුෂයා ඉක්මවා සොර සැමියන් සොයා යන්නේ නම් විපාකය කටුකය තියුණුය දරුණුය

තම ස්වාමි පුරුෂයා ඉක්මවා සොර සැමියන් සොයා යන්නේ නම්
විපාකය කටුකය තියුණුය දරුණුය

නිච්ඡවිත්ථි සූත්‍රය ඇසුරින්
(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා‚ සංයුක්ත නිකාය 2 - පිටු අංක 398 - 399)

මුගලන් තෙරණුවෝ ගිජුකුළු පර්වතයේ වැඩ වසන කල්හි පිණ්ඩපාතයෙන් පසු ලක්ඛණ තෙරණුවන් සමඟ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, වැඳ එකත් පස් ව හිඳ ගත් සේක.

මුගලන් තෙරණුවෝ විසින් මෙය වදාළ සේක. “මම ගිජුකුළු පර්වතයෙන් බසින විට අහසෙහි ගමන් කරනා සිවිය නැති ස්ත්‍රියක් දැක්කෙමි. ගිජුලිහිණියෝ ද කපුටෝ ද උකුස්සෝ ද මැය ලුහුබඳිමින් කඩා කති. ඉරා කති. ඇය බැගෑපත් හඬින් කෑ ගසන්නීය.

ආශ්චර්යයි! අද්භූතයි! මෙවැනි සත්වයෝත් වෙත් ද මෙවැනි යක්ෂයෝත් වෙත් ද මෙවැනි ආත්ම භාව ලැබීමකුත් වෙත් ද යැයි මේ අදහස මට විය”.

එ කල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, මාගේ සමහර ශ්‍රාවකයෝ මෙබඳු දේ දන්නා, දක්නා, නුවණින් යුතු ව මෙහි වෙසෙති.

මේ සත්වයා මා විසින් පෙර දක්නා ලදි. එහෙත් මා නොපැවසුවේ මාගේ වදන් අන් අය නොඅදහන්නාහු විය හැක. එසේ යමෙක් මාගේ වදන් නොඅදහන්නාහු නම් එය ඔවුනට දිගු කලක් අහිත පිණිස දුක් පිණිස පවතින්නේය.

මේ සත්ව තෙම පෙර රජගහ නුවර ම තම ස්වාමි පුරුෂයා ඉක්මවා සොර ස්වාමි පුරුෂයන් සොයන්නියක් වූවාය.

ඕ තොමෝ කළ අකුසල කර්ම විපාකයෙන් බොහෝ වර්ෂ ගණන්, බොහෝ වර්ෂ සිය ගණන්, බොහෝ වර්ෂ දහස් ගණන්, බොහෝ වර්ෂ ලක්ෂ ගණන් නිරයෙහි පැසී, දුක් විඳ, ඒ කළ අකුසල කර්මයේ ම ඉතිරි විපාකයෙන් මෙබඳු ආත්ම භාවයක් ලැබී බොහෝ දුක් විඳින්නීය”.


බාගත ​කිරීමට