එක්තරා දෙව් දුවක් රනින් කළ වහලයක් සහිත නැවක නැගී දිව්‍ය මල් පිරි පොකුණක බැස නෙළුම් මල් නෙළමින් සිටිනවා. ඇයගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාව ම බබළනවා.
මුගලන් මහ තෙරුන් වහන්සේ මේ දෙව් දුවගෙන් ඇසුවා මෙම සම්පත් ලබන්න ඇය කළ පින මොකක්ද කියලා.
ඇය බොහොම සතුටින් මෙසේ පවසනවා.
“මම කලින් ජීවිතයේ මනුස්ස දුවක් වෙලා සිටියා. මට දැක ගන්න ලැබුණා පිපාසයෙන් ක්ලාන්ත වෙලා සිටිය භික්ෂූන් වහන්සේලා. මම ඉක්මණින් ඒ භික්ෂූන් වහන්සේලාට පැන් පූජා කළා. මේක තමයි මම කළ පින.
කවුරු හරි කෙනෙක් පිපාසයෙන් ක්ලාන්ත වෙලා ඉන්න කෙනෙකුට ඉක්මණින් පැන් පූජා කළොත් මේ වගේ සිහිල් දියෙන් පිරුණු, බොහෝ මලින් ගැවසීගත් නදීහු පහළ වෙති. සෑම කල්හි සිහිල් දිය ගලා බසින සුදු වැලි අතුරන ලද ගංගාවෝ ඒ විමානය වටකොට සිටිති.
එසේ ම මෙවැනි බබළන මනස්කාන්ත දිව්‍ය විමානත්, ලස්සන සිරුරකුත් ලබන්න පුළුවන්”.