විශාල, අලංකාර දිව්‍යමය අඹ වනයක දෙව් දුවක් සිටියාය. එහි විවිධාකාර තූර්ය වාදන හඬ ද ඇසෙයි. ඒ විමානයේ නිතර ම දැල්වෙන රනින් සෑදූ පහනක් ද වෙයි. විමානය වටා ඇති ගස්වල දිව්‍ය සළු පිළිවලින් සෑදූ පළතුරු ඇත. මෙම විමානයේ සිටින දෙව් දුව ද මහානුභාව සම්පන්නය. ඇයගේ සිරුරෙන් විහිදෙන එළියෙන් සෑම දිශාව ම බබළයි.
මෙම දෙව් දුව දුටු මුගලන් තෙරණුවෝ මෙවැනි විමානයක් සහ මෙවැනි ආනුභාවයක් ලැබීමට ඇය කළ පින කුමක්දැයි විමසූ සේක. ඇය මෙසේ පිළිතුරු දුන්නාය.
“මම මිනිස් දුවක් වී සිටියදී, ආර්ය මහා සංඝ රත්නය උදෙසා විහාරයක් කරවලා පූජා කළා. ඒ භූමිය අඹ ගස්වලින් පිරිලා තිබුණේ. ඒ විහාරයේ වැඩ අවසන් වෙලා පූජා කරන දවසේ මම ලස්සන රෙදිවලින් පළතුරු ගෙඩි හදවලා ඒ අඹ ගස් සැරසුවා. එමෙන් ම එහි පහනක් දැල්වූවා. උතුම් සංඝ රත්නයට දන් වැළඳෙව්වා. මම ඒ විහාරය මගේ අතින් ම පහන් සිතින් පූජා කළා.
එහි විපාකය ලෙස තමයි මට මේ රමණීය දිව්‍යමය අඹ වනය ලැබුණේ. මේ විමානය හරි ම විශාලයි. විවිධාකාර තූර්ය වාදන හඬ ඇසෙනවා. අප්සරාවන්ගේ කතා බහ ඇසෙනවා. මෙහි රනින් සෑදූ පහනකුත් තිබෙනවා. ඒක නිතර ම දැල්වෙනවා. වටේ තියන ගස්වල දිව්‍ය සළුවලින් සෑදූ දිව්‍ය පළතුරු තිබෙනවා. මම ඒ කළ පින නිසයි මේ සියලු සැප සම්පත් ලැබුණේ”.