රන්වන් පැහැති ප්‍රාසාදයක්, රන්වන් අශ්වයන් යෙදූ රථයක් හිමි දෙව් දුවක් සිටියාය. ඇයගේ සළු, කොඩි, ආභරණ, සයනාසනය, බඳුන්, කුඩ සහ විජිනි පත් ද රන්වන් පාටය. රන්වන් පැහැති සඳුන් ගත තවරා ගෙන සිටින්නීය.
මේ ආශ්චර්යමත් දෙව් දුව දුටු සක් දෙවිඳු මෙසේ විමසුවේය.
“සුන්දරිය, ඔබ මිනිස් ලොව සිටියදී මොන වගේ පිනක් ද කළේ මෙවැනි ලස්සන දේවල් ලබන්න?”
දෙව් දුව මෙසේ පිළිතුරු දුන්නාය.
“මම වැටකොළු වැලෙන් මල් හතරක් කඩා ගෙන, බුදු රජාණන් වහන්සේගේ ස්ථූපය වෙත ගියා. ශාස්තෘන් වහන්සේගේ උතුම් බුදු සිරුර ගැන සිතද්දී මගේ සිතට පුදුමාකාර සතුටක් දැනුණා. ඒ ස්ථූපය ගැනමයි මං සිත සිතා සිටියේ. මේ වෙලාවේ ගව දෙනක් එනවා මම දැක්කේ ම නැහැ. මට ඒ ස්ථූපය ලඟට ගිහින් මල් පූජා කර ගන්න බැරි වුණා. ගව දෙන ඇනලා මම මැරුණා. මල් පූජා කර ගෙන පින් රැස් කර ගත්තා නම් මීට වඩා උතුම් සැප ලැබේවි කියලයි මට සිතෙන්නේ.
පින්වත් දෙවිඳ, මම ඒ පුණ්‍ය කර්මයෙන් තමයි මිනිස් ශරීරය අතහැරලා ඔබ අතරට පැමිණුනේ”.
තව්තිසා දෙව් ලොවට අධිපති ඒ උතුම් සක් දෙවිඳු තව්තිසා දෙවියන්ට පැහැදෙන ලෙස මාතලී දිව්‍ය පුත්‍රයාට මෙසේ පැවසුවේය.
“මේ පුණ්‍ය විපාකය දෙස බලන්න. දිය යුතු දේ ඉතා කුඩා දෙයක් වුවත්, එහි පින මහත්ඵල වූවා නේද? තථාගතයන් වහන්සේ හෝ උන් වහන්සේගේ ශ්‍රාවකයන් ගැන සිත පහදවා ගෙන සුළු දෙයක් දුන්නත් ඒ දක්ෂිණාව අල්ප වෙන්නේ නැහැ. ඒ නිසා මාතලී, තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වඩ වඩාත් පුදමු.
බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දීත්, උන් වහන්සේ පිරිනිවන් පෑ පසුත් සම සිතින් පූජාවන් කරයි නම් එහි විපාකය සමාන ව ම ලැබෙයි”.
තථාගතයන් වහන්සේලා ලෝකයට පහළ වන්නේ බොහෝ දෙනාට වැඩ පිණිසයි. උන් වහන්සේලාට පූජා සත්කාර කොට දායකයෝ සුගතියේ උපදිති.